Ultimate magazine theme for WordPress.

බංග්ලාදේශය ඉනිමක පරාජයෙන් ගැලවීමේ සටනක

Day 4 Report

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද (26) නිමා වුණේ තරගයේ වැඩි ගෞරව ශ්‍රී ලංකාවට හිමි කර දෙමින්.

අද දිනට තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 4ක් දැවී ලකුණු 34ක් ලබා සිටියා.

ටමිම් ඉක්බාල් ලකුණු නොලබා දැවී ගිය අතර, නජ්මුල් හොසේන් ලකුණු 2කට දුවද්දී දැවී ගියා. නායක මොමිනුල් හක්ට ද ලකුණු රැස් කිරීමට හැකි වූයේ නැහැ. මහ්මුදුල් හසාන් ලකුණු 15යි.

නොදැවී පන්දුවට පහර දෙන මුෂ්ෆිකර් රහීම් ලකුණු 14ක් හා ලිටොන් දාස් එක් ලකුණක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු කඩුලු 2ක් ද, කසුන් රාජිත එක් කඩුල්ලක් ද දවා ගත්තා.

අද දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 5ක් දැවී ලකුණු 282ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 506ක්.

ඇන්ජෙලෝ මැතිව්ස් අද සිය 13 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 145ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 12ක් ඇතුළත් වුණා.

දිනේෂ් චන්දිමාල් ලකුණු 124යි. චන්දිමාල් අද වාර්තා කළේ සිය ටෙස්ට් දිවියේ 12 වැනි ශතකයයි. ඔහුගේ ඉනිම හයේ පහරකින් හා හතරේ පහර 11කින් වර්ණවත් වුණා.

මැතිව්ස් හා චන්දිමාල් අතර 6 වැනි කඩුල්ල සදහා ගොඩ නැගුණු සබදතාවය ලකුණු 199ක්.

අද දිනය ආරම්භයේ සිට තේ පානය දක්වා වූ කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු කඩුල්ලක් දැවී නොගිය අතර, අනතුරුව ලකුණු ලබා ගැනීමේ වේගය ඉහළ නැංවීමට ශ්‍රී ලංකාව ගත් උත්සාහයත් සමග අවසන් කඩුලු 5 ලකුණු 41ක් තුළ බිද වැටුණා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 80(155)ක්, ධනංජය ද සිල්වා ලකුණු 58(95)ක් හා ඕෂද ප්‍රනාන්දු ලකුණු 57(91) ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ශකිබ් අල් හසාන් ලකුණු 96කට කඩුලු 5ක් හා එබඩොට් හොසේන් ලකුණු 148කට කඩුලු 4ක් දවා ගත්තා.

ඩකා නුවර මීර්පූර් හි ෂෙරී බංග්ලා ජාතික ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 365ක්.

ඒ අනුව බංග්ලාදේශය ඉනිමක පරාජයෙන් ගැලවීම සදහා තවත් ලබා ගත යුතු ලකුණු සංඛ්‍යාව 107ක්.