Ultimate magazine theme for WordPress.

පෙබරවාරි මාසයේ ​ICC ක්‍රිකට් ක්‍රීඩකයා නිවේදනය කෙරේ

2024 වසරේ පෙබරවාරි මාසයට අදාළ අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට ඉන්දියාවේ යශස්වි ජයිස්වාල් සමත්ව තිබෙනවා.

එම සම්මානය සදහා මෙවර නවසීලන්තයේ කේන් විලියම්සන් හා ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක ද නිර්දේශ කර තිබූ නමුත්, අද(12) දිනයේ දී ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් ජයිස්වාල් පිදුම් ලබා ඇති බවයි.

පෙබරවාරි මාසයේ දී යශස්වි ජයිස්වාල් පිට පිට ටෙස්ට් තරග දෙකකදී එංගලන්තයට එරෙහිව ද්විත්ව ශතක දෙකක් වාර්තා කිරීම කැපී පෙනුණා.

එමෙන්ම ටෙස්ට් ඉතිහාසයේ දී පිතිකරුවෙකු ඉනිමකදී එල්ල කළ වැඩිම හයේ පහර සංඛ්‍යාවේ ලෝක වාර්තාව ද (හයේ පහර 12) සම කිරීමට ජයිස්වාල් රාජ්කොට් ටෙස්ට් තරගයේ දී සමත් වුණා.

ටෙස්ට් ලකුණු 1,000 ක් වාර්තා කළ දෙවැනි වේගවත්ම ඉන්දීය පිතිකරු ලෙසත් ඔහු වාර්තා අතරට එක් වුණා.

පෙබරවාරි මාසයේ දී එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරග තුනකදී යශස්වි ජයිස්වාල් ලකුණු 560 ක් රැස් කළේ ඉනිමක සාමාන්‍ය 112 ක් ලෙස සටහන් කර ගනිමින්. හයේ පහර 20 ක් ද ඊට ඇතුළත්.