Ultimate magazine theme for WordPress.

පූරාන් පන්දු 19 න් ගහපු 62 RCB පරදා සුපර් ජයන්ට්ස් කණ්ඩායමට සුපිරි ජයක් ගෙනෙයි

Match Report

නිකලස් පූරාන් පන්දු 19 කින් ලබා ගත් වේගවත් ලකුණු 62 හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පරදා එක් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අද(10) සමත් වුණා.

විරාට් කෝලිගේ අගනා අර්ධ ශතකය මෙන්ම නායක ෆෆ් ඩු ප්ලෙසිස්ගේ හා ග්ලේන් මැක්ස්වෙල්ගේ සුපිරි පිතිහරඹය හමුවේ ලක්නව් කණ්ඩායමේ ආරාධනයෙන් බැංගලූරුහි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 212 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් පිල ඉනිමේ අවසන් පන්දුවේ දී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 9ක් දැවී සිටියදීයි.

ලක්නව් සුපර් ජයන්ට්ස් පිලේ ලකුණු හඹා යාමට සාර්ථක ආරම්භයක් නොලැබුණ ද, මර්කස් ස්ටොයින්ස් පන්දු 30 කින් වේගවත් ලකුණු 65 ක් වාර්තා කරමින් සිය කණ්ඩායම යළි සටනට අවතීර්ණ කළා. හයේ පහර 5ක් හා හතරේ පහර 6ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ඔහුගේ දැවී යාමෙන් පසුව තරගයේ ජයග්‍රහනය පිළිබද සියලු බලාපොරොත්තු ලක්නව් කණ්ඩායමෙන් ගිලිහී යන බවක් දක්නට ලැබුණ ද, නිකලස් පූරාන් පන්දු 15 කින් සිය අර්ධ ශතකය වාර්තා කරමින් සිය කණ්ඩායමට ජයග්‍රාහී මාවත යළි විවර කර දුන්නා. එය මෙවර තරග වාරයේ දී පිතිකරුවෙකු වාර්තා කළ වේගවත්ම අර්ධ ශතකයයි. ඔහුගේ ලකුණු 62 ට හයේ පහර 7 ක් හා හතරේ පහර 4 ක් ඇතුළත්.

අයුෂ් බදෝනි ලකුණු 30 ක් ලබා ගනිමින් ලක්නව් කණ්ඩායම ජයග්‍රහනය අසලටම රැගෙන ගොස් අවාසනාවන්ත ලෙස හිට් විකට් දැවී යාමකට මුහුණ දුන්නා. එම දැවී යාම සිදු වූ පන්දුවට ඔහු එල්ල කළ පහරින් පසුව පන්දුව හයේ සීමාව ද ඉක්මවා යාම කැපී පෙනෙන සිදු වීමක් බවට පත් වුණා. බදෝනි හා පූරාන් අතර ලකුණු 84 (35) ක සම්බන්ධතාවයක් 6 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණා.

තරගයේ අවසන් පන්දුවට ජයග්‍රහනය සදහා එක් ලකුණක් අවශ්‍ය වූ අතර, පිතිකරණයේ නිරත වූ අවේශ් ඛාන්ගේ පිත්තේ නොවැදුණු පන්දුව කඩුලු රකින ක්‍රීඩක දිනේෂ් කාර්තික් අතට ඇදී ගියා. එම අවස්ථාවේ දී එක් ලකුණක් දිව යාමට පිතිකරුවන් දෙදෙනා සමත් වීමත් සමග තරගයේ ජය ලක්නව් පිලට හිමි වුණා.

අවසන් පන්දුව යොමු කිරීමට යාමේ දී පන්දු යවන අන්තයේ රැදී සිටින පිතිකරු දුවද්දී දවා ගැනීමට (මැන්කාඩ්) එම පන්දුවාරය යොමු කළ හර්ෂාල් පටෙල් විසින් අසාර්ථක උත්හාසයක නිරත වීම ද බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වුණා. (දර්ශන පහතින්)

පන්දු යැවීමේ දී මොහමඩ් සිරාජ් හා වේන් පාර්නෙල් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායමේ පළමු කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 96 ක්. විරාට් කෝලි සිය 46 වැනි අයි.පී.එල් අර්ධ ශතකය වාර්තා කරමින් පන්දු 44 කින් ලකුණු 61ක් ලබා සිටියදී දැවී යාමත් සමගයි එම සබදතාවය බිද වැටුණේ. ඔහු සිය ඉනිම හයේ පහර 4 කින් හා හතරේ පහර 4 කින් වර්ණවත් කර ගත්තා.

අනතුරුව නායක ෆෆ් ඩු ප්ලෙසිස් සමගින් පිටියේ එක් වූ ග්ලේන් මැක්ස්වෙල් දෙවැනි කඩුල්ලට පන්දු 50 කින් ලකුණු 115 ක් එක් කිරීමට සමත් වුණා.

නායක ඩු ප්ලෙසිස් පන්දු 46 කින් නොදැවී ලකුණු 79ක් රැස් කළේ හයේ පහර 5 ක් හා හතරේ පහර 5 ක් සමගින්. මැක්ස්වෙල් ලකුණු 59 යි (පන්දු 29). හයේ පහර 6කින් හා හතරේ පහර 3කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.