“පුහුණුවීම් හරියට කළොත්, විශ්වාසයක් තියෙනවා ; සැලසුම වුණේ අවුරුද්දක් අල්ලගෙන සෙල්ලම් කරන්න”: දුනිත්

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාවට එරෙහිව පැවැති තරගයේ දී තමා කඩුලු දවා ගැනීමේ අරමුණින් පන්දු නොයැවූ බව ශ්‍රී ලංකා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පවසනවා.
ඉන්දියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 41 ක පරාජයක් ලැබීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.
මෙම තරගයේ දී තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් වූ දුනිත් පන්දු යැවීමේ දී ඉන්දීය ප්‍රබල කඩුලු 5 ක් ලකුණු 40 ක් ලබා දෙමින් දවා ගත් අතර, පිතිකරණයේ දී ද සටන්කාමී නොදැවුණු ලකුණු 42 ක් වාර්තා කිරීමට සමත් වුණා.
ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ ෂුබ්මන් ගිල්, විරාත් කෝලි, රෝහිත් ෂර්මා, කේ.එල් රාහුල් හා හර්ඩික් පාන්ඩ්යා යන ක්‍රීඩකයින්.
ඉන්දීය කණ්ඩායම සිය ඉනිමට ප්‍රබල ආරම්භයක් ලබා ගෙන තිබූ පසුබිමකයි දුනිත් සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් මෙම කඩුලු 5 දවා ගනිමින් ශ්‍රී ලංකාව යළි සටනට අවතීර්ණ කළේ.
“කඩුලු ගන්න මගෙ ඔලුවේ තිබුණේ නෑ. මම පුලුවන් තරම් මගේ මූලික දේවල් ටික තමයි මම අනුගමනය කරේ. ඒක හින්දා මට සාර්ථක වෙන්න පුලුවන් වුණා.” යනුවෙන් දුනිත් සදහන් කළා.
“බැට් කරන්න ගියාමත්, පුලුවන් තරම් ධනාත්මකව බැට් කරන්න තමයි සැලසුම් කළේ, ඒ වගේම එහා පැත්තේ හිටපු ධනා අයියාට සහාය දෙමින්. මම හිතනවා මට අද මැච් එකේ බැටින් බෝලින් දෙකම සාර්ථක වෙන්න පුලුවන් වුණේ ඒ නිසා කියලා.”
“ගොඩක් සතුටුයි. ඒ වුණාට අපි අද තරගය පරාජය වුණා. අපි පුලුවන් තරම් බැලුවේ හොද තරගයක් දෙන්න. විශේෂයෙන්ම අත්දැකීම් බහුල පන්දු යවන්නන් තමයි ඉන්දියාවේ ඉන්නේ. අද අපි මැච් එක පැරදුනාට අපිට තව මැච් එකක් තියෙනවා. හොද තරගයක් දෙන්න බලාපොරොත්තුවෙනවා.”
“අපි කරන පුහුණුවීම් හරියට කරලා හිටියොත් අපිට විශ්වාසය තියෙනවා. ඒ වගේම තමයි මට පුහුණු කාර්යය මණ්ඩලයෙන් ලොකු සහයෝගයක් හම්බුණා. ඒ වගේම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ගෙන් වගේම මුළු කණ්ඩායමෙන්ම. මම හැමවේලාවෙම සැලසුම් කරන්නේ මගේ නෝර්මල් බේසික්වල ඉන්න. ඒ වගේම මම මාව විශ්වාස කරනවා හැමවෙලේම. ඒක තමයි මම හිතන්නේ මට මේ තරගාවලිය හොදින් කරගන්න පුලුවන් වුණේ කියලා.
“19න් පහළ කණ්ඩායමෙන් පස්සේ ජාතික කණ්ඩායමට ආවම මගේ සැලසුම් තිබුණේ මේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්, ජාතික ක්‍රීඩකයින් එක්ක අවුරුද්දක් එක දිගටම කොහොමහරි අල්ලගෙන සෙල්ලම් කරන්න. ඉතිං එතකොට ඒගොල්ලන්ගෙ හොද දේවල් අරගෙන, ඒගොල්ලන්ගෙ මැච් සිටුවේෂන් හැන්ඩ්ල් කරන විදිහ, පුහුණුකරුවන්ගෙන් දේවල් අරගෙන, මට මාව දියුණු කර ගන්න පුලුවන්. මම අවුුරුද්දක් පහු වෙනවා ජාතික කණ්ඩායමට ඇවිල්ලා. ඉතිං මම හිතන්නේ මං පොඩ්ඩක් හරි, දශමයක් හරි දියුණු වෙන්න හේතුව ඒගොල්ලන්ගෙන් දේවල් ඉගෙන ගෙන පුහුණුකරුවන්ගෙන් දේවල් දැනගෙන අහල කරලා ගත්ත ඒ දේවල් හින්දා තමයි.”