Ultimate magazine theme for WordPress.

පුහුණුකරුවන් 6 දෙනෙකුගේ සම්මුඛ පරීක්ෂණ අවසන් ; සිම්බාබ්වේ තරගාවලියට වැඩබලන පුහුණුකරුවෙක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු පත් කිරීම සදහා තවත් සති කිහිපයක කාලයක් ගත වනු ඇති බව වාර්තා වනවා.

මෙතෙක් ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මිකී ආතර් කටයුතු කළ නමුත්, ඔහුගේ ධූර කාලය පසුගිය දෙසැම්බර් මාසයේ දී අවසන් වුණා.

අනතුරුව ඔහුගේ ධූර කාලය තවදුරටත් දීර්ඝ නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගැනීම හේතුවෙන් මේ වන විට නව ප්‍රධාන පුහුණුකරුවෙකු පත් කිරීම සදහා අවශ්‍ය ක්‍රියාවලිය ආරම්භ කර තිබෙනවා.

සෙසු සහාය කාර්යය මණ්ඩල පුහුණුකරුන්ගේ ධූර කාලයන් ද දීර්ඝ නොකිරීමටයි ක්‍රිකට් ආයතනය පියවර ගත්තේ.

ප්‍රධාන පුහුණුකරු ධූරය සදහා රටවල් රැසක පුහුණුකරුන් 40 දෙනෙකුගෙන් පමණ අයදුම්පත් ලැබී තිබෙනවා.

ඉන් 17 දෙනෙකු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් ක්‍රිකට් ආයතනය පළමුව යොමු කර තිබූ අතර, මේ වන විට ඉන් 8 දෙනෙකු පිළිබද සලකා බලමින් සිටින බව සදහන්.

ශ්‍රී ලංකා උපදේශක පුහුණුකරු වන මහේල ජයවර්ධන මහතාගේ ප්‍රධානීත්වයෙන් යුත් කමිටුවක් විසින් පුහුණුකරුවන් 6 දෙනෙකු සදහා සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇති බවයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේ.

ඔස්ට්‍රේලියානු පුහුණුකරුවන් 5 දෙනෙකු ද, ශ්‍රී ලංකා පුහුණුකරුවන් තිදෙනෙකු ද, දකුණු අප්‍රිකානු හා එංගලන්ත පුහුණුකරුවන් දෙදෙනා බැගින් ද, බටහිර ඉන්දීය කොදෙව්, නවසීලන්ත, පාකිස්තාන හා වේල්ස් පුහුණුකරුවන් එක් අයෙකු බැගින් ද අයදුම්පත් යොමු කළ අය අතරින් පළමුව අවධානය යොමු කෙරුණු 17 දෙනා අතරට ඇතුළත් බව සදහන්.

එළඹෙන 16 වනදා ආරම්භ වන සිම්බාබ්වේ තරගාවලියට පෙර ජාතික කණ්ඩායමට නව පුහුණුකරුවෙකු පත් කිරීමට නොහැකි වනු ඇති.

ඒ හේතුවෙන් එම තරගාවලිය සදහා තාවකාලික පුහුණුකරුවෙකු පත් කිරීමට නියමිතයි.

“ද අයිලන්ඩ්” පුවත්පත අද(3) වාර්තා කර ඇත්තේ වැඩබලන පුහුණුකරු සදහා බොහෝ විට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පුහුණුකරුවෙකු වන රුමේෂ් රත්නායක මහතා පත් කරනු ඇති බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ලබන මාසයේ දී 20යි 20 තරග 5ක් ක්‍රීඩා කිරීම සදහා ඔස්ට්‍රේලියානු තරග සංචාරයක නිරත වීමට නියමිතව ඇති අතර, නව ප්‍රධාන පුහුණුකරුගේ පළමු වගකීම බවට එය පත් වනු ඇති.

Leave a comment