“ඒ ආකල්පයෙන් අපි ගියොත් නිලකුණු පන්දු අඩු වේවි, ප්‍රහාරාත්මක වේගය වැඩි වේවි” : ක්‍රිස් සිල්වර්වුඩ්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්ට සැබවින්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා, දුර්වලතා, උපක්‍රම යනු අලුත් දෙයක් නෙවෙයි.
මීට මාස 15කට පමණ පෙර ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ තරග 2-0ක් ලෙස ටෙස්ට් තරගාවලිය ජය ගැනීමට එංගලන්තය සමත් වූ අයුරු ඔබට මතක ඇති.
කෙසේ වෙතත්, මේ වන විට තත්ත්වය වෙනස්. එංගලන්තයේ පුහුණුකරු ලෙස සිටියදී තමා ඉදිරියේ පරාජයට පත් වූ එම ශ්‍රී ලංකා කණ්ඩායමේ අඩුපාඩු සකස් කරමින් තරග ජයග්‍රහනය කරා ශ්‍රී ලංකාව රැගෙන යාම දැන් ඔහුගේ වගකීමයි.
පසුගිය වසරක කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ යම් යම් වෙනස්කම් සාධණීය අයුරින් සිදුව ඇති බව සැබෑය.
මේ වන විට ශ්‍රී ලංකාව සතුව වනිදු හසරංග හා දුෂ්මන්ත චමීර වැනි ලෝක මට්ටමේ පන්දු යවන්නන් සිටියි. මහීෂ් තීක්ෂ ද මේ වන විට පිතිකරුවන්ට අභියෝගයක් වෙමින් සිටින බව දක්නට ලැබෙනවා. පැතුම් නිස්සංක, භානුක රාජපක්ෂ, චරිත් අසලංක වැනි තරග දිනවිය හැකි පිතිකරුවන් මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සතුයි.
මිකී ආතර්ගේ පුහුණුකාරීත්වය යටතේ අවසන් මාස කිහිපයේ දී එවැනි සැලකිය යුතු ධනාත්මක පැති අපට දැක ගත හැකි වූ නමුත්, අඛණ්ඩව දක්ෂතා දක්වමින් තරග ජයග්‍රහනය කිරීමේ රිද්මයක් තවමත් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දැක ගත නොහැකියි.
“අපිට පිතිකරණයේ වැඩි විනයක් අවශ්‍යයි, පිතිකරණයේදී වැඩි ඉවසීමක් වගේම ලකුණු රැස් කිරීමට යම් අභිප්‍රායක් ද අවශ්‍යයි.” යනුවෙන් ක්‍රිස් සිල්වර්වුඩ් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස වැඩ භාර ගැනීමෙන් පසුව පළමු වරට ඊයේ(4) පස්වරුවේ දී මාධ්‍ය අමතමින් සදහන් කළා. ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සමග පුහුණුවීම් කටයුතු ආරම්භ කර මේ වන විටත් සති දෙකක පමණ කාලයක් ගත වී අවසන්.
“මම පසුගිය සති දෙක තුළ වැඩි කාලයක් ගත කළේ සංඛ්‍යා දත්ත ගැන අවධානය යොමු කරමින්, අපිට දියුණු වෙන්න පුළුවන් කොහොමද කියලා හොයා බලමින්. ඒ අතරින් එක් දෙයක් තමයි ලකුණු ලබා ගැනීම සඳහා තියෙන උනන්දුව. අපි පිතිකරුවන්ට විශ්වාසයක් ලබා දිය යුතුයි දැවී යාමට බිය නොවී ලකුණු ලබා ගන්න. මම ඒකෙන් කියන්නේ නෑ අපි නොසැලකිළිමත් ලෙස ක්‍රීඩා කළ යුතුයි කියලා. මම කියන්නේ අපි බුද්ධිමත්ව ඒ දේ කළ යුතුයි. නමුත් මට ඔවුන් ධනාත්මක වීම අවශ්‍යයි, මට ඔවුන් නිර්භීත වීම අවශ්‍යයි. ඒ ආකල්පයෙන් අපි ගියොත් නිලකුණු පන්දු අඩු වේවි, ප්‍රහාරාත්මක වේගය වැඩි වේවි, ඒ වගේ හොද දේවල් වෙන්න පුලුවන්.”
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර භාර ගැනීමට පෙර තමා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරුවන් කිහිප දෙනෙකු සමගම සාකච්ඡා කළ බව ද ක්‍රිස් සිල්වර්වුඩ් සදහන් කළා.
“ඇත්තෙන්ම, මට තියෙන එක් අභියෝගයක් තමයි සන්නිවේදනය කර ගැනීම. මම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන සැලසුම් ක්‍රීඩකයින්ට නිසි පරිදි ලබා දීමට පුලුවන් වන බවට වන සහතිකයක් මා තුළ තිබිය යුතුයි. ඒ සඳහා මට නවීඩ් (නවාස්) සුවිශේෂී දායකත්වයක් මේ දක්වා ලබා දී තියෙනවා.”
ශ්‍රී ලංකා කණ්ඩායමේ නව සහාය පුහුණුකරු නවීඩ් නවාස් මහතා මෙන්ම නව කළමනාකරු මහින්ද හලංගොඩ මහතා ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා.
ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්ගේ පළමු වගකීම බවට පත් වන්නේ එළඹෙන බංග්ලාදේශ ටෙස්ට් තරග සංචාරයයි.
මෙම සංචාරය සදහා දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර වැනි ප්‍රධාන වේග පන්දු යවන්නන් එක් නොවන අතර, සුරංග ලක්මාල් ද මෑතකදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනිම හේතුවෙන් ඔහුගේ සේවය ද ශ්‍රී ලංකාවට අහිමි වී තිබෙනවා.
ඒ අනුව අත්දැකීම් අවම වේග පන්දු යැවීමේ බලඇණියක් සහිතවයි ශ්‍රී ලංකාව මෙම තරගාවලියට මුහුණ දෙන්නේ.
“මම විශේෂයෙන්ම ටෙස්ට් පන්දු යවන්නන්ට අභියෝග කරලා තියෙනවා ඔවුන්ගේ පළමු පන්දු 12 දී ක්‍රියාශීලී වෙන්න කියලා. මොකද අපි කවුරුත් දන්නා පරිදි පළමු පන්දු 12 ඔබට ඔබේ පන්දු යැවීමේ වාරයට සැබෑ බලපෑමක් එල්ල කළ හැකි අතර පිතිකරුවන් මත පීඩනයක් ඇති කළ හැකියි.” යනුවෙන් ශ්‍රී ලංකා පුහුණුකරු මෙම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් සදහන් කර සිටියා.