පිට පිට කඩුලු 4ක් දවා ගනිමින් හෝල්ඩර් කොදෙව්වන්ට තරගාවලි ජයක් ගෙන එයි
Match Report
සංචාරක එංගලන්ත කණ්ඩායම හා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවති තරග 05 කින් යුත් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය මෙරට වේලාවෙන් අද (31) අලුයම බාර්බඩෝස් හි කෙන්සිංටන් ඕවල් ක්‍රීඩා පිටියේදී නිමාව දුටුවේ කොදෙව් කණ්ඩායමට තරග 3ට 2 ක් ලෙස තරගාවලියේ ජය හිමිකර දෙමින්.
මෙම තරගයේදී එංගලන්ත කණ්ඩායමේ අවසන් කඩුලු 4 පිට පිට පන්දු 4ක් තුළදී දවා ගැනීමට ජේසන් හෝල්ඩර් සමත්වීම ඉතාමත් සුවිශේෂී සිදුවීමක් බවට පත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් කොදෙව් කණ්ඩායමේ නායක කයිරන් පොලාඩ් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.
ඒ අනුව පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව්වන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් බිඳ වැටී ලකුණු 179 ක් රැස්කර කළා.
බ්‍රෙන්ඩන් කිංග් ලකුණු 34(31) ක් ද, කයිල් මේයර්ස් ලකුණු 31(19) ක් ද, නිකලස් පූරන් ලකුණු 21(24) ක් ද ලබා සිටියදී දැවී ගියා.
නායකත්යේ ඉනිමක් දියත් කළ කයිරන් පොලාඩ් හයේ පහරවල් 2 ක් හා හතරේ පහරක් සමගින් පන්දු 25 කට මුහුණ දී නොදැවී ලකුණු 41ක් රැස්කිරීමට සමත්වුණා.
හයේ පහරවල් 4 ක් ද සමගින් රොව්මන් පවෙල් ලකුණු 35(17) ක වේගවත් ඉනිමක් නොදැවී වාර්තා කළා.
පන්දු යැවීමේදී අඩීල් රෂීඩ් සහ ලියම් ලිවින්ග්ස්ටන් කඩුලු 2 බැගින් බිඳ හෙලුවා.
ලකුණු 180 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට කොදෙව් පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් ලැබුණේ නැහැ.
ජේසන් රෝය ලකුණු 8(5) කටත්, ටොම් බැන්ටන් ලකුණු 16(12) කටත් දැවී ගියා.
නායක මෝයීන් අලීට ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 14(19) ක් පමණයි. ලියම් ලිවින්ස්ටන් ලකුණු 6 කටත්, පිල් සෝල්ට් ලකුණු 3(6) කටත් දැවීගියා.
සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ ජේම්ස් වින්ස් පන්දු 35 කට මුහුණ දෙමින් ලකුණු 55 ක් රැස්කර ගෙන සිටියදී දැවී ගියේ අකීල් හොසේන්ගේ පන්දුවක් හමුවේයි.
සෑම් බිලින්ග්ස් ලකුණු 41(28) ක් ලබා ගත්තා.
පන්දුවාර 19 ක් අවාසාන වන විට කඩුලු 6 ක් බිඳ වැටී ලකුණු 160 ක් රැස්කරගෙන සිටි එංගලන්ත කණ්ඩායමට ජයග්‍රහණය සදහා අවසන් පන්දුවාරයේදී ලකුණු 20 ක් අවශ්‍යව තිබුණා.
කොදෙව් කණ්ඩායම වෙනුවෙන් තරගයේ අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කිරීමේ වගකීම ජේසන් හෝල්ඩර්ට පැවරුණා.
ඔහු තරගය අවසන් කළේ එංගලන්ත ඉනිමේ අවසන් කඩුලු 4 ම පිට පිට පන්දු 4 කදී දවා ගනිමින් ඉතිහාසගත පන්දු යැවීමක් ප්‍රදර්ශනය කරමින්.
හෝල්ඩර්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ පිළිවෙලින් දැවී ගියේ ක්‍රිස් ජෝර්ඩන්, සෑම් බිලින්ග්ස්, අඩීල් රෂීඩ් සහ සකීබ් මහ්මූඩ්. (දර්ශන පහතින්)
ජාත්‍යන්තර විස්සයි විස්ස තරග ඉතිහාසයේ දී කොදෙව් පන්දු යවන්නෙකු පිට පිට පන්දු 4 කදී කඩුලු 4 ක් බිඳ හෙලූ ප්‍රථම අවස්ථාව මෙන්ම කඩුලු ත්‍රිත්වයක් (පිට පිට කඩුලු 3ක්) දවා ගත් ප්‍රථම අවස්ථාව ලෙස ද මෙය ඉතිහාසයට එක් වුණා.
පන්දුවාර 19.5 ක් අවසානයේ සියලු දෙනා දැවී එංගලන්ත කණ්ඩායමට රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 162 ක් පමණයි.
ඒ අනුව ලකුණු 17 ක සුවිශේෂී ජයග්‍රහණයක් කොදෙව් කණ්ඩායම සතුවුණේ තරගාවලියේ ජය ද හිමි කර ගනිමින්.
විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ජේසන් හෝල්ඩර් ලකුණු 27 කට කඩුලු 5 ක් බිඳ හෙලුවා.
අකීල් හොසේන් ලකුණු 30 කට කඩුලු 4 ක් සහ ඕඩියන් ස්මිත් එක් කඩුල්ලක් දවා ගත්තා.
අවසන් තරගයේ සහ තරගාවලියේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ ජේසන් හෝල්ඩර්.
අවසන් පන්දුවාරයේ දර්ශන –
— cric fun (@cric12222) January 31, 2022