පැතුම්-මෙන්ඩිස් ශතක සම්බන්ධය අපතේ යවමින් මැදපෙල පෙරහැර ශ්‍රී ලංකාව පරාජයට ඇද දමයි
Match Report

පැතුම් නිස්සංක හා කුසල් මෙන්ඩිස් පළමු කඩුල්ලට ගොඩ නැගූ අගනා ශතක සම්බන්ධතාවය අපතේ යවමින් නවසීලන්තය සමග පැවැති පළමු පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු අටක පරාජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද(28) සිදු වුණා.
පහසුවෙන් ජයගත හැකිව තිබූ මෙම තරගය ශ්‍රී ලංකා මැද පෙල පිතිකරුවන්ගේ දියාරු පිතිහරඹය හේතුවෙන් නවසීලන්තයට ජයග්‍රහනය පූජා කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කළේ ආරම්භක කඩුල්ලත් සමග ලකුණු 38 ක් තුළ කඩුලු 8 ක් දැවී යාමත් සමගයි.
Mount Maunganui හි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 173 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 164 ක් පමණයි.
පළමු කඩුල්ල සදහා පන්දුවාර 13.3 ක් තුළ ලකුණු 121 ක අගනා සම්බන්ධතාවයක් ගොඩ නැගීමට පැතුම් නිස්සංක හා කුසල් මෙන්ඩිස් සමත් වුණා.
පළමු කඩුල්ල ලෙස මෙන්ඩිස් දැවී යන අවස්ථාව වන විට ශ්‍රී ලංකාවට පන්දු 39 කින් ජයග්‍රහනය සදහා ලබා ගත යුතුව තිබුණේ ලකුණු 52 ක් පමණයි.
කුසල් හයේ පහරක් හා හතරේ පහර6 ක් සමග පන්දු 36 කින් ලකුණු 46 ක් ලබා සිටියදී දැවී ගියා. ජේකබ් ඩෆී යොමු කළ එම පන්දුවාරයේදීම කුසල් පෙරේරා හා කමිදු මෙන්ඩිස් ලකුණු නොලබා සිටියදී දැවී යාම නවසීලන්තයට යළි සටනට ප්‍රවිශ්ඨ වීම සදහා මග පාදා දෙනු ලැබුවා.
නායක චරිත් අසලංක රැස් කළේ ලකුණු 3 ක් පමණයි. පැතුම් නිස්සංක පන්දු 60 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 90 ක්. හයේ පහර 3 ක් හා හතරේ පහර 7 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා. කෙසේ වෙතත්, 19 වැනි පන්දුවාරයේ පළමු පන්දුවට ඔහු දැවී යාමත් සමග තරගයේ ජයග්‍රහනය පිළිබද බලාපොරොත්තු ශ්‍රී ලංකාවෙන් දුරස් වුණා.
භානුක රාජපක්ෂ ලකුණු 8 කට දැවී ගිය අතර, වනිදු හසරංග ලකුණු 5 කට දුවද්දී දැවී ගියා.
පන්දු යැවීමේ දී ජේකබ් ඩෆී ලකුණු 21 කට කඩුලු 3 ක් බිද හෙලූ අතර, මැට් හෙන්රි හා Zakary Foulkes කඩුලු 2 බැගින් බිද හෙලුවා.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව නවසීලන්තයට ලබා දුන් අතර, ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 172 ක් ලබා ගත්තේ කඩුලු 8 ක් දැවී සිටියදීයි.
ඩැරල් මිචෙල් පන්දු 42 කින් ලකුණු 62 ක් හා මයිකල් බ්‍රේස්වෙල් පන්දු 33 කින් ලකුණු 59 ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා අතර 6 වැනි කඩුල්ලට ලකුණු 105 (60) ක අගනා සම්බන්ධතාවයක් ගොඩ නැගුණේ 5 වැනි කඩුල්ල ලකුණු 65 දී බිද වැටී නවසීලන්තය අසීරු තත්ත්වයක රැදී සිටි පසුබිමකයි.
පන්දු යැවීමේ දී බිනුර ප්‍රනාන්දු ලකුණු 22 කට කඩුලු 2 ක් ද, මහීෂ් තීක්ෂණ ලකුණු 29 කට කඩුලු 2 ක් ද, වනිදු හසරංග ලකුණු 33 කට කඩුලු 2 ක් ද දවා ගත්තා.
— cric sl (@cricslvideo) December 28, 2024