Ultimate magazine theme for WordPress.

පැතුම්ගේ හා කමිදුගේ සටන අපතේ යයි – ශ්‍රී ලංකාවට ලකුණු තුනක තියුණු පරාජයක්

Match Report

පැතුම් නිස්සංකගේ හා කමිදු මෙන්ඩිස්ගේ සටන අපතේ යවමින් ශ්‍රී ලංකාව සමග පැවැති තෙවැනි හා අවසන් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු තුනක තියුණු ජයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා සංචාරය සැනසුම්දායක ජයකින් අවසන් කිරීමට ඇෆ්ඝනිස්තාන කණ්ඩායම අද(21) සමත් වුණා.

දඹුල්ලේ පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 210 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු හයක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 206 ක් පමණයි.

ඒ අනුව විස්සයි 20 ජාත්‍යන්තර තරගයකදී ලකුණු 200 ට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් සාර්ථක ලෙස හඹා ගොස් තරගයක් ජය ගැනීමට ශ්‍රී ලංකාව මෙතෙක් සමත් වී නැහැ.

අද තරගයෙන් පරාජයට පත් වුවද තරග 2-1 ක් ලෙස තරගාවලියේ ජය හිමි වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි.

තියුණු අවසානය

තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට අවසන් පන්දුවාර දෙක තුළ ලකුණු 36 ක් අවශ්‍ය වුණා. 19 වැනි පන්දුවාරයේ දී ක්‍රියාත්මක වූ දසුන් ශානක හයේ පහරක් හා හතරේ පහරක් එල්ල කරමින් ජයග්‍රහනය පිළිබද බලාපොරොත්තුවක් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට ලබා දුන් නමුත්, ඔහු එම පන්දුවාරයේ දී ලකුණු 13(8) කට දුවද්දී දැවී යාමත් සමග යළි තරගයේ පාලනය ඇෆ්ඝනිස්තානයට නතු වුණා.

නමුත්, එම පන්දුවාරයේ අවසන් පන්දුවට අකිල ධනංජය හතරේ පහරක් එල්ල කළේ අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 19 ක ඉලක්කයක් හිමි කරමින්.

අවසන් පන්දුවාරයේ පළමු පන්දුවට හා තෙවැනි පන්දුවට කමිදු මෙන්ඩිස් හතරේ පහර බැගින් එල්ල කරමින් ජයග්‍රහනය ආසන්නයටම ශ්‍රී ලංකාව රැගෙන යාමට සමත් වුණා. කෙසේ වෙතත්, සිව්වැනි පන්දුවේ දී පන්දුව ඉනට ඉහළින් ඇදී ආ නමුත්, එය නිපන්දුවක් ලෙස විනිසුරුවන් සංඥා නොකිරීම තරගයේ තීරණයට බලපානු ලැබුවා. (දර්ශන පහතින්)

අවසන් පන්දු දෙකේ දී තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට අවශ්‍ය වූ ලකුණු සංඛ්‍යාව 10 ක්. නමුත්, 5 වැනි පන්දුවට හතරේ පහරක් හෝ හයේ පහරක් එල්ල කිරීමට කමිදුට හැකි වූයේ නැහැ. ඔහු අවසන් පන්දුවට හයේ පහරක් එල්ල කරමින් තරගය අවසන් කරනු ලැබූ නමුත්, ශ්‍රී ලංකාවට ලකුණු තුනක තියුණු පරාජයක් උරුම වුණා.

කමිදු මෙම ඉනිමේ දී පන්දු 39 කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 65 ක්. හයේ පහර 2ක් හා හතරේ පහර 7ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

වේගවත් ආරම්භය අවසානයේ කඩුලු දෙකක්

ශ්‍රී ලංකා ලකුණු හඹා යාම ආරම්භ කළේ සුපුරුදු පරිදි පැතුම් නිස්සංක සමගින් කුසල් මෙන්ඩිස්. ඔවුන් දෙදෙනා අතර ගොඩ නැගුණු ආරම්භ කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 64 ක්. පන්දුවාර 5.5 ක් තුළ ගොඩ නැගුණු එම සම්බන්ධතාවය බිද වැටුණේ කුසල් මෙන්ඩිස් ලකුණු 16(පන්දු 13) කට දැවී යාමත් සමගයි. අනතුරුව කුසල් පෙරේරා ලකුණු නොලබා දැවී ගියා.

කණ්ඩායමට අවශ්‍ය ආරම්භය ලබා දුන් පැතුම් නිස්සංක පන්දු 30කින් වේගවත් ලකුණු 60 ක් ලබා ගත් නමුත්, පාදයක සිදු වූ ආබාධයක් නිසා ඔහුට පිටියෙන් ඉවත් වීමට සිදු වුණා. හයේ පහර දෙකක් හා හතරේ පහර 8ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

වනිදු හසරංග රැස් කළේ ලකුණු 13(11) ක් පමණයි. සධීර සමරවික්‍රම පන්දු 12 කින් ලකුණු 23 ක් ලබා ගනිමින් සිය කණ්ඩායමට ජයග්‍රහනයේ මාවත විවර කර දීමට දැඩි උත්සාහයක නිරත වුණා.

ඇෆ්ඝනිස්තානයේ සුපිරි ආරම්භය

කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තානය මෙම තරගයේ දී පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 209 ක් රැස් කළේ කඩුලු 5ක් දැවී සිටියදීයි. ඉනිමට විශිෂ්ඨ ආරම්භයක් ලබා දුන් රහ්මනුල්ලාහ් ගුර්බාස් හා හස්රතුල්ලාහ් සසායි ආරම්භක කඩුල්ලට පන්දුවාර 7.2 ක් තුළ ලකුණු 88 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා.

සසායි පන්දු 22 කින් ලකුණු 45 ක් ලබා ගත් අතර, ගුර්බාස් පන්දු 43 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 70 ක්. හයේ පහරක් හා හතරේ පහර 7ක් ගුර්බාස්ගේ ඉනිමට ඇතුළත්.