පැට් කමින්ස් නොමැතිව ශ්‍රී ලංකා සංචාරයට ඔස්ට්‍රේලියානු සංචිතය නිවේදනය කෙරේ
එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සදහා වන ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතය නම් කර තිබෙනවා.
ඒ අනුව අප වෙබ් අඩවිය ද මීට පෙර වාර්තා කළ පරිදි නායක පැට් කමින්ස් මෙම සංචාරයට එක් නොවන අතර, වැඩබලන නායකයා ලෙස පත් කර ඇත්තේ ස්ටීවන් ස්මිත්.
කමින්ස් හා ඔහුගේ බිරිද ඔවුන්ගේ දෙවන දරු උපත වෙනුවෙන් සූදනමින් සිටින බැවින් ඔහු මෙම සංචාරයට එක් වන්නේ නැහැ. එමෙන්ම ඔහු වළලුකර ආබාධයකින් පසුවන බව එරට ක්‍රිකට් ආයතනය සදහන් කළා.
වමත් පිතිකරණ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන Cooper Connolly පළමු වරට ටෙස්ට් සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ. ඔහුට වමත් දග පන්දු යවන්නෙකු ලෙස ද කණ්ඩායමට සිය දායකත්වය ලබා දීමට හැකියාව ඇති අතර, උප නායක, මැද පෙල පිතිකරු ට්‍රැවිස් හෙඩ් ද අමතර දග පන්දු යවන්නෙකු ලෙස යොදා ගත හැකියි.
නේදන් ලයන් සමගින් ටොඩ් මර්ෆි හා මැට් කුහ්නෙමන් විශේෂඥ දග පන්දු යවන්නන් ලෙස සංචිතයට ඇතුළත් කර තිබෙනවා.
ආබාධයක් හේතුවෙන් බෝර්ඩර්-ගවස්කාර් කුසලාන ටෙස්ට් තරගාවලියේ අවසන් අදියරෙන් ඉවත් වීමට සිදු වූ ජොෂ් හේසල්වුඩ්ට ශ්‍රී ලංකා සංචාරය ද අහිමි වී තිබෙනවා.
මිචෙල් මාෂ් ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයෙන් ඉවත් කිරීමටයි තීරණය කර ඇත්තේ. මිචෙල් ස්ටක් හා ශෝන් ඇබෝට් පමණක් ප්‍රධාන වේග පන්දු යවන්නන් ලෙස සංචිතයට ඇතුළත්.
ඉන්දියාවට එරෙහි පළමු තරගයේදී ටෙස්ට් වරම් දිනා ගත්තද, පළමු තරග තුනේදී අසාර්ථක වීමෙන් පසුව කණ්ඩායමෙන් ඉවත් කෙරුණු නේදන් මැක්ස්වීනි ද සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්. එම තරගාවලියේදීම ටෙස්ට් වරම් දිනූ සෑම් කොන්ස්ටස් හා බෙවු වෙබ්ස්ටර් සංචිතයේ ස්ථාන රැක ගෙන තිබෙනවා.
ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත් තරග දෙකකින් යුත් ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය ජනවාරි 29 වැනිදා සිට ගාලු ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.
ඔස්ට්‍රේලියාව මේ වන විටත් ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇතත්, ඔවුන්ට එම අවස්ථාව අහිමි විය හැකි වන්නේ මෙම ටෙස්ට් තරගාවලියේදී ඔවුන් තරග දෙකම පරාජයට පත්ව නියමිත කාලය තුළ යැවිය යුතු පන්දුවාර සංඛ්‍යාව යවා නිමා නොකිරීමේ වරදට (අවම වශයෙන් පන්දුවාර 8ක් පිටුපසින් සිටියහොත්) හසු වුවහොත් පමණයි. එවන් අවස්ථාවක පමණක් ශ්‍රී ලංකාව අවසන් තරගයට සුදුසුකම් ලබා ගන්නවා.
AUS SQUAD: Steve Smith, Usman Khawaja, Sam Konstas, Marnus Labuschagne, Travis Head, Alex Carey, Josh Inglis, Nathan McSweeney, Beau Webster, Nathan Lyon, Mitchell Starc, Cooper Connolly, Todd Murphy, Matt Kuhneman, Sean Abbott