Ultimate magazine theme for WordPress.

පාකිස්තාන සංචාරය සදහා ප්‍රබල ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයක් ප්‍රකාශයට පත් කෙරේ

එළඹෙන පාකිස්තාන තරග සංචාරය සදහා වන ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතය එරට ක්‍රිකට් ආයතනය විසින් අද(8) නිවේදනය කළා.

පැට් කමින්ස්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත්.

සංචිතයේ තෙවැනි ප්‍රධාන දග පන්දු යවන්නා ලෙස නම් කර ඇත්තේ 2017 වසරේ දී අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කළ ඇෂ්ටන් ඒගාර්.

නේදන් ලියෝන් හා මිචෙල් ස්වෙප්සන් සෙසු ප්‍රධාන දග පන්දු යවන්නන් ලෙස සංචිතයට ඇතුළත්.

නිමා වූ අලුබදුන ටෙස්ට් තරගාවලියේ අවසන් තරග හතරම ආබාධයක් හේතුවෙන් ක්‍රීඩා කිරීමට නොහැකි වූ වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ් ද ටෙස්ට් සංචිතය සදහා නම් කර තිබෙනවා.

වේග පන්දු යවන ක්‍රීඩක ජයි රිචර්ඩ්සන් පාකිස්තාන සංචාරයෙන් විවේක ගැන්වීමටයි පියවර ගෙන ඇත්තේ.

තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ් ද සංචිතයට ඇතුළත් කර ඇති අතර, කඩුලු රකින පිතිකරුවන් ලෙස සංචිතයට ඇතුළත්ව ඇත්තේ ඇලෙක්ස් කෙරී හා ජොෂ් ඉන්ග්ලිස්.

ජස්ටින් ලැන්ගර් ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් ඉවත් වීම හේතුවෙන් මෙම සංචාරයේ දී ඇන්ඩෘෘ මැක්ඩොනල්ඩ් වැඩබලන ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතයි.

ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලු මත ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් කිහිප දෙනෙකු මෙම තරග සංචාරයෙන් ඉවත් වනු ඇති බවට අපේක්ෂා කෙරුණ ද, මෙතෙක් කිසිදු ක්‍රීඩකයෙකු එලෙස ඉවත් වීමට කටයුතු කර නැහැ.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ තරග සංචාරයක නිරත වන්නේ වසර 24කට පසුව වීම ද විශේෂත්වයක්.

පාකිස්තාන තරග සංචාරයට අයත් සීමිත පන්දුවාර තරග සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතය පසුව නිවේදනය කිරීමට නියමිතයි.

ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් සිය රටේ දී ම නිරෝධායන කාලසීමාවන් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව විශේෂ ගුවන් යානයකින් එළඹන 27 වනදා පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරට ළගා වීමට නියමිතයි.

පාකිස්තානයේ දී එක් දිනක් කාමර තුළම නිරෝධායනයට ලක් වීමෙන් පසුව ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මාර්තු 4 වැනිදා රාවල්පින්ඩි හී දී ආරම්භ වීමට නියමිතයි.

  • Australia Test squad: Pat Cummins (c), David Warner, Marcus Harris, Marnus Labuschagne, Steven Smith (vc), Travis Head, Cameron Green, Alex Carey, Mitchell Starc, Nathan Lyon, Josh Hazlewood, Ashton Agar, Scott Boland, Josh Inglis, Usman Khawaja, Mitchell Marsh, Michael Neser, Mitchell Swepson

තරග කාලසටහන:

4-8 Mar – 1st Test, Rawalpindi

12-16 Mar – 2nd Test, Karachi

21-25 Mar – 3rd Test, Lahore

29 Mar – 1st ODI, Rawalpindi

31 Mar – 2nd ODI, Rawalpindi

2 April – 3rd ODI, Rawalpindi

5 Apr – one-off T20I, Rawalpindi

Leave a comment