ප්‍රබල ක්‍රීඩකයෙකු කැදවමින් ශ්‍රී ලංකාවට එරෙහි බංග්ලාදේශ ටෙස්ට් සංචිතය නම් කෙරේ
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සදහා වන බංග්ලාදේශ සංචිතය නම් කර තිබෙනවා.
මොමිනුල් හක්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.
උරහිසක ආබාධයකට ලක්ව සිටි වේග පන්දු යවන ක්‍රීඩක ටස්කින් අහ්මඩ්ට මෙම තරගාවලිය අහිමි වී තිබෙනවා.
දකුණු අප්‍රිකාව සමග පැවැති පළමු ටෙස්ට් තරගයේ දී යි ටස්කින් අහ්මඩ්ගේ දකුණු උරහිසෙහි ආබාධ තත්ත්වයක් ඇති වුණේ. ඒ හේතුවෙන් ඔහුට දකුණු අප්‍රිකාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගය ද අහිමි වුණා.
වළලුකර ආබාධයකට ලක්ව සුවය ලබා ඇතත්, මේ වන විට තවත් ආබාධයකට ලක්ව සිටින ශොරිෆුල් ඉස්ලාම් ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගය සදහා වන සංචිතයට ඇතුළත්. වළලුකර ආබාධය නිසා ඔහුට නිමා වූ දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය ද අහිමි වුණා.
ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය සුදුසු මට්ටමක පැවතුණහොත් පමණක් ශොරිෆුල් ඉස්ලාම් පළමු ටෙස්ට් තරගය සදහා වන තේරීම් වෙනුවෙන් සලකා බැලෙනු ඇති.
ආරම්භක පිතිකරු ශඩ්මන් ඉස්ලාම් ටෙස්ට් සංචිතයෙන් ඉවත් කිරීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.
නිමා වූ නවසීලන්ත හා දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලි සදහා ක්‍රීඩා නොකළ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් යළි ටෙස්ට් සංචිතයට කැදවා තිබෙනවා.
ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියට පෙර සූදානමක් වශයෙන් ඔහු මේ දිනවලදී ඩකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ද එක්ව සිටිනවා.
ටෙස්ට් සංචිතය සදහා මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති වේග පන්දු යවන්නන් දෙදෙනෙකු වන Rejaur Rahman Raja හා Shohidul Islam ද ඇතුළත්.
දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය මැයි 15 වනදා ද, දෙවැනි ටෙස්ට් තරගය මැයි 23 වනදා ද ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
මෙම ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට ද අයත් වනවා.
Bangladesh squad:
Mominul Haque (c), Tamim Iqbal, Mahmudul Hasan Joy, Najmul Hossain Shanto, Mushfiqur Rahim, Shakib Al Hasan, Liton Das, Yasir Ali, Taijul Islam, Mehidy Hasan Miraz, Ebadot Hossain, Khaled Ahmed, Nurul Hasan, Rejaur Rahman Raja, Shohidul Islam, Shoriful Islam (subject to fitness)