ප්‍රබල එංගලන්ත ක්‍රීඩකයෙකුට ශ්‍රී ලංකා තරගාවලිය අහිමි වන ලකුණු
එංගලන්ත ටෙස්ට් නායක බෙන් ස්ටොක්ස්ට ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා.
ඒ, මෙවර හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ පස්වරුවේ පැවැති තරගයකදී ඔහුගේ පාදයක සිදුව ඇති ආබාධයක් හේතුවෙන්.
හන්ඩ්‍රඩ් තරගාවලියේ දී ස්ටොක්ස් Northern Superchargers කණ්ඩායම නියෝජනය කරන අතර, ඊයේ දිනයේ දී ඔවුන් තරග වැදුණේ Manchester Originals කණ්ඩායමට එරෙහිවයි.
එම තරගයේ දී පිතිකරණයේ නිරතව සිටියදී ස්ටොක්ස් මෙම ආබාධයට මුහුණ දුන්නා. ඔහු අද දිනයේ දී වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සදහා මුහුණ දීමට නියමිතයි.
ස්ටොක්ස්ට ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් උප නායක ඔලී පෝප් කණ්ඩායමේ වැඩබලන නායකයා ලෙස කටයුතු කිරීමට ඉඩ තිබෙනවා.
මීට පෙර දණහිසක ආබාධයකට ලක්ව සිටි බෙන් ස්ටොක්ස්ට එම ආබාධය හේතුවෙන් පන්දු යැවීමේ අවස්ථාව ද සීමා වී තිබුණා. කෙසේ වෙතත්, ශල්‍යකර්මයකට ද මුහුණ දීමෙන් පසුව ඔහු මෙවර ගිම්හාන තරග වාරයට පිවිසුණේ ඉහළ ශාරීරික යෝග්‍යතාවයක් සමගයි.
සුදුසු ශාරීරික යෝග්‍යතාවය ළගා කර ගැනීම සදහා ඔහු 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් මෙන්ම විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියෙන් ද ඉවත් වුණා.
ආබාධයකට ලක් වීම හේතුවෙන් සැක් ක්‍රව්ලිට ද ශ්‍රී ලංකා තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණා.
මේ අතර, තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයින් රැසක් ඊයේ (11) දිනයේ දී දිවයිනෙන් පිටත්ව ගියා.
ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් තරගය අගෝස්තු 21 වැනිදා මැන්චෙස්ටර්හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.