පළමු ටෙස්ට් තරගය දෙපිලටම විවෘත වෙයි ; දකුණු අප්‍රිකාව 179 ක් ඉදිරියෙන්
Day 2 Report
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනය අද(01) සෙන්චූරියන් හී දී නිමා වුණේ තරගයේ පාලනය කණ්ඩායම් දෙකටම සමව හිමි කරමින්.
දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 4 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 49 ක්. ඒඩ්න් මාක්‍රම් නොදැවී ලකුණු 35 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.
ඩීන් එල්ගර් එක් ලකුණකට දැවී ගියා. Tony de Zorzi හා නායක ටෙම්බු බවුමා ඔවුන් මුහුණ දුන් පළමු පන්දුවලින්ම දැවී යාම විශේෂත්වයක්. ටෙස්ට් නායකත්වයට පත් වීමෙන් පසුව සිය පළමු තරගය ක්‍රීඩා කරන බමුවා පළමු ඉනිමේ දී ද ලකුණු නොලබායි දැවී ගියේ.
පන්දු යැවීමේ දී අල්සාරි ජෝසප් කඩුලු 2 ක් ද, කෙමා රෝච් හා ජේසන් හෝල්ඩර් කඩුල්ල බැගින් ද දවා ගත්තා.
අද දිනය සදහා තරගය ආරම්භ කරන විට තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 8 ක් දැවී ලකුණු 314 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 342 ක්.
ඒඩ්න් මාක්‍රම් ලකුණු 115 ක් රැස් කළා. හතරේ පහර 18 ක් මාක්‍රම්ගේ ඉනිමට ඇතුළත්. ඩීන් එල්ගර් ලකුණු 71 යි. පන්දු යැවීමේ දී අල්සාරි ජෝසප් කඩුලු 5 ක් දවා ගත්තේ ලකුණු 81 ක් ලබා දෙමින්.
අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 212 කට සීමා කිරීමට දකුණු අප්‍රිකා පන්දු යවන්නන් සමත් වුණා.
එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ අන්රික් නොකියා ලකුණු 36 කට කඩුලු 5 ක් දවා ගැනීම කැපී පෙනුණා. කාගිසෝ රබාඩා හා Gerald Coetzee අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා. කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 62 ක් රැස් කළ Raymon Reifer. ජර්මයින් බ්ලැක්වුඩ් ලකුණු 37 යි.
ඒ අනුව දකුණු අප්‍රිකාව මේ වන විට දෙවැනි ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 179 ක්.