Ultimate magazine theme for WordPress.

පළමු අවසන් පූර්ව තරගය ඉන්දියාව හා එංගලන්තය අතර

බර්මිංහැම් හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ කාන්තා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග හෙට (6) පැවැත්වෙනවා.

පළමු අවසන් පූර්ව තරගය සදහා සුදුසුකම් ලබා ඇත්තේ B කාණ්ඩයේ පෙරමුණ හිමි කර ගත් එංගලන්තය හා A කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනා ගත් ඉන්දියාවයි.

දෙවැනි අවසන් පූර්ව තරගය A කාණ්ඩයේ පළමු ස්ථානය හිමි කර ගත් ඔස්ට්‍රේලියාව හා B කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමි කර ගත් නවසීලන්තය අතර පැවැත්වීමට නියමිතයි.

පළමු අවසන් පූර්ව තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ද, දෙවැනි අවසන් පූර්ව තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 10.30 ට ද ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මේ අතර, තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය හෙවත් 12 වැනි තරගය මෙරට වේලාවෙන් අද(5) අලුයම නිමා වුණේ එංගලන්තයට කඩුලු 7 ක ජයක් හිමි කර දෙමින්.

ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ නවසීලන්ත කාන්තා කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 9ක් දැවී ලබා ගත්තේ ලකුණු 71 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 11.4 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.