“පරාජයන්හි වගකීම භාරගෙන ඉල්ලා අස් වෙන්න” – ක්‍රීඩා ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී ලබන පරාජයන්හි වගකීම වසර 04 ක් පුරා තේරීම් කටයුතු සිදු කළ තේරීම් කමිටුව හා අවිධිමත් ක්‍රිකට් පරිපාලනයක යෙදෙන ක්‍රිකට් විධායක කමිටුව භාර ගත යුතු බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.
ලෝක ශූරතාවයන් දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙවැනි අභාග්‍ය සම්පන්න තත්ත්වයකට ඇද දැමූ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු නිලදාරීන්ට තවදුරටත් බලයේ රැදී සිටිමට සදාචාරාත්මක අයිතියක් ඇති දැයි ප්‍රශ්ණ කරන අමාත්‍යවරයා, පරාජයන්හි වගකීම භාරගෙන ඔවුන් වහාම ඉල්ලා අස්විය යුතු බව සිය ස්ථාවරය බවයි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා සදහන් කර සිටියේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම ලබන පරාජයන් හමුවේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සියල්ලන්ම පාහේ මේ වන විට දැඩි කනස්සල්ලට පත්ව සිටින නමුත්, කිසිදු ක්‍රිකට් ක්‍රීඩකයෙකු අධෛරමත් නොකර ඔවුන්ට සහයෝගය ලබා දෙන ලෙස ද ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
“ICCය වෙතින් අප රටට මුදල් ලැබෙනුයේ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යත්තර තරගාවලි සඳහා සහභාගී වීම්, මාධ්‍ය විකාශණ අයිතීන්, ජාත්‍යතර තරගාවලි සදහා සත්කාරකත්වය ලබා දීම්, ක්‍රිකට් ක්‍රීඩාවේ හා ක්‍රීඩකයින්ගේ යටිතල පහසුකම් සංවර්ධනය යන කරුණු පදනම් කරගනිමින් උවත්, ක්‍රීඩකයින්ගේ දක්ෂතාවන් මත අප රටට ලැබෙන මුදල් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් දිගින් දිගටම අවභාවිතය සිදු කරනුයේ ක්‍රීඩකයින්ට අවශ්‍ය මූලික පහසුකම්වත් ලබා නොදෙමිනි.” යනුවෙන් එම මාධ්‍ය නිවේදනයේ සදහන්.
විශේෂයෙන්ම අනෙකුත් සෑම රටක්ම පාහේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා අති නවීන තාක්ෂණික හා විද්‍යාත්මක ක්‍රම හා මෙවලම් භාවිතා කළ ද, අප රටෙහි එය සිදු නොවීම ක්‍රීඩකයන් දිගින් දිගටම ආබාධයන්ට ලක්වීමට හේතුවක් වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
වර්ෂා දිනයන්හි පුහුණුවීම් කටයුතු සිදු කිරීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමට ගෘහස්ථ ක්‍රීඩාගාරයක් හෝ නොමැති බවත්,
ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාවයට හා පුහුණු අංගයන් අතර අත්‍යවශ්‍ය අංගයන් වන පිහිණුම් තටාකයක් ද මෙතෙක් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉදිවී නොමැති බවත් අමාත්‍යවරයා චෝදනා කරනවා.
“ඕස්ට්‍රේලියානු T20 ලෝක කුසලාන තරගාවලි සංචාරයේ දී සිදු වූ දූෂණය ද, LPL තරගාවලියෙන් කිසිදු මුදලක් රටට නොලැබී අත යට සිදුවූ ගණුදෙනු පිළිබව ද සියලු දෙනා දන්නා කාරණයකි. ලෝක කුසලාන තරගාවලිය වැනි පොදු අභිලාෂයන් පසෙකට විසිකර, එම තරගාවලිය පේන මානයේ තිබිය දී LPL තරග කිරීම ක්‍රිකට් ආයතනයේ තාක්ෂණික කමිටුවට, උපදේශකවරුන් හා තේරීම් කමිටුවට නොපෙනීම සැබවින්ම ගැටළු සහගත බවට චෝදනා කරන අමාත්‍යවරයා, උපදේශක කමිටුව හා තාක්ෂණික කමිටුව LPL තරගාවලිය පැවැත්වීම සදහා එකග වූයේ කෙසේදැයි අමාත්‍යවරයා ප්‍රශ්ණ කරයි.” යනුවෙන් මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සදහන්.
ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තම පුද්ගලික අභිලාෂයන් මත ගත් තීරණ ලෝක කුසලාන තරගාවලිය මෙලෙස පරාජය වීමට හේතු වූ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
“LPL තරගාවලිය අතරතුර ආබාධයට ලක්වන ලංකාවේ ප්‍රධානතම දග පන්දු යවන්නා වන වනිදු හසරංගට ලෝක කුසලාන තරගාවලියම අහිමිවීම, අනෙක් දග පන්දු යවන්නා වන මහීෂ් තීක්ෂණ, වේග පන්දු යවන දුෂ්මන්ත චමීර , මතීෂ පතිරණ, ලහිරු කුමාර වැනි දක්ෂ ක්‍රීඩකයින් ආබාධයට ලක් වීම ලෝක කුසලාන තරගාවලියකට කණ්ඩායමක් ලෙස තරග කිරීමට සුදුසු තත්ත්වයක් නොමැතිවීම මෙවැනි තරගාවලි පරාජයන්ට සෘජුව බලපෑ බව අනාවරණය කරයි.”
තවද පුද්ගලික පලිගැනීම් සහ නොසලකා හැරීම් මත, රට දෙවෙනි කොට ඇන්ජෙලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් වැනි ජ්‍යෙෂ්ඨ හා පලපුරුදු ක්‍රීඩකයින් කණ්ඩායමට ඇතුළු නොකිරීම ද මෙම පරාජයන්ට තවත් හේතුවක් බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
“හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු මෙම දූෂිත ක්‍රිකට් විධායක කමිටුව හා තේරීම් කමිටුව සාධාරණීයකරණය කරමින් ප්‍රකාශ ලබා දීම හාස්‍යයට මෙන්ම විමතියට කරුණකි. වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ හා තේරීම් කමිටුවේ හැසිරීම අනුව 2040 වසරේදී හෝ ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීමට නොහැකි තරමේ දුර්දාන්ත තත්ත්වයෙන් සිටින බව අවධාරණය කරන ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා, මේ මොහොතේ ජයග්‍රහණය කළ හැකි ප්‍රබල කණ්ඩායමක් අප සතුව තිබියදී , ඔවුන්ට අත්‍යාවශ්‍ය පහසුකම් හා තාක්ෂණය ලබා නොදී, ක්‍රීඩකයන්ගේ හා ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙන මුදල් මෙහි විධායක කමිටුව විසින් තම පෞද්ගලික සුඛවිහරණය සඳහා යොදවා ගැනීම ඛේදනීය තත්ත්වයක් බවත්, සමස්ථ ක්‍රීඩාවට හා ක්‍රීඩා ලෝලීන් පිළිබඳව සිතා සුදුස්සාට සුදුසු තැන දී ක්‍රිකට් පරිපාලනයෙන් ඉවත් නොවි බහිරවයන් සේ නොසිට දැඩි ක්‍රියා මාර්ග ගැනීමට ඉඩ නොතබා ඔවුන්ට ඉල්ලා අස්වන ලෙස අවධාරනය කරන බව වැඩිදුරටත් අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර සිටී.”