Ultimate magazine theme for WordPress.

පටෙල්ගේ කඩුලු ත්‍රිත්වය හමුවේ හා මැදපෙල අසාර්ථක වීමෙන් මුම්බායට තවත් අමිහිරි පරාජයක්

Match Report

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක හර්ෂාල් පටෙල් දවා ගත් කඩුලු ත්‍රිත්වය හමුවේ සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ මැද පෙල පිතිකරුවන් යළි දැක් වූ අසාර්ථක පිතිහරඹය හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 39 වන තරගයෙන් ලකුණු 54ක අමිහිරි පරාජයක් අත් කර ගැනීමට මුම්බායි කණ්ඩායමට අද(26) සිදු වුණා.

තරගය ඩුබායි හී දී පැවැති අතර, තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි පිල පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

මෙම තරගය සදහා බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංගට අහිමි වුණා.

Mumbai Indians XI: Q de Kock, R Sharma, I Kishan, S Yadav, H Pandya, K Pollard, K Pandya, A Milne, R Chahar, T Boult, J Bumrah

Royal Challengers Bangalore XI: V Kohli, D Padikkal, KS Bharat, G Maxwell, AB de Villiers, S Ahmed, D Christian, K Jamieson, H Patel, M Siraj, Y Chahal

  • RCB 165/6 (20)

මුම්බායි ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම ලකුණු 165ක් කරා රැගෙන යාමට නායක විරාට් කෝලි, ග්ලේන් මැක්ස්වෙල් හා ශ්‍රිකර් භාරත් සමත් වුණා. දෙව්දත් පඩික්කල් ලකුණු නොලබා පළමු කඩුල්ල ලෙස දැවී ගිය අතර, අනතුරුව කෝලි හා ශ්‍රිකර් භාරත් අතර දෙවැනි කඩුල්ලට ලකුණු 68ක සබදතාවයක් ගොඩ නැගුණා.

භාරත් ලකුණු 32(24)යි. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 2ක් සමගින්. තවත් අර්ධ ශතකයක් සිය 20යි 20 ක්‍රිකට් දිවියට එක් කළ කෝලි ලකුණු 51කට දැවී ගියා. පන්දු 42කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර හා හතරේ පහර 3 බැගින් ඇතුළත්. එම ඉනිමේ දී ඔහු සිය 20යි 20 ක්‍රිකට් දිවියේ 10,000 වැනි ලකුණ පසු කර යාමට ද සමත් වීම විශේෂත්වයක්.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ග්ලේන් මැක්ස්වෙල් පන්දු 37කින් ලකුණු 56ක් වාර්තා කළා. හයේ පහර 3ක් හා හතරේ පහර 6ක් ඔහු සිය ඉනිමට අන්තර්ගත කළා. ඒ.බී ඩි විලියස් රැස් කළේ ලකුණු 11ක් පමණයි.

ඉනිම ආරම්භයේ සිටම දැඩි ප්‍රහාරයකට මුම්බායි පන්දු යවන්නන් නිරතුරුවම මෙම තරගයේ දී මුහුණ දුන්නද, සාර්ථක අවසානයක් ඔවුන් අත්කර ගත්තේ අවසන් පන්දුවාර 2 තුළ දී ලකුණු 9ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්. ඒ හේතුවෙන් ලකුණු 180ක් පසු කර යාමට තිබූ පහසු අවස්ථාවක් බැංගලොර් කණ්ඩායමෙන් ගිලිහී ගියා.

පන්දු යැවීමේ දී ජස්ප්‍රිට් බුම්රා ලකුණු 36කට කඩුලු 3ක් දවා ගත් අතර, ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 17කට එක් කඩුල්ලක් ද, ඇඩම් මිල්න් ලකුණු 48කට එක් කඩුල්ලක්ද, රාහුල් චහාර් ලකුණු 33කට එක් කඩුල්ලක් ද දවා ගත්තා.

  • MI 111 (18.1)

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දීමට රෝහිට් ෂර්මා හා ක්වෙන්ටන් ඩී කොක් යළි සමත් වුණා.

ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ගොඩ නැගූ සබදතාවය ලකුණු 57ක්. ඩී කොක් ලකුණු 24කට දැවී ගියා. ෂර්මා පන්දු 28කින් ලකුණු 43ක් ලබා සිටියදී දැවී ගිය අතර, ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 5ක් ඇතුළත්.

සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසු කර යාමට නොහැකි වූයේ යළිත් වරක් මෙවර තරග වාරයේ දී මුම්බායි කණ්ඩායමේ මැදපෙල දුර්වලතාවය ප්‍රදර්ශනය කරමින්. ඒ අනුව මුම්බායි ඉනිම පන්දුවාර 18.1ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 111කට සීමා වුණා.

සුපිරි පන්දු යැවීමක් ප්‍රදර්ශනය කළ හර්ෂාල් පටෙල් කඩුලු ත්‍රිත්වයක් ද සමගින් පන්දුවාර 3.1ක් තුළ ලකුණු 17කට කඩුලු 4ක් දවා ගත්තා. (කඩුලු ත්‍රිත්වයේ දර්ශන මෙතනින්)

යුස්වේන්ද්‍ර චහෙල් සිය පන්දුවාර 4 තුළ ලකුණු 11කට කඩුලු 3ක් දවා ගැනීම ද මෙහිදී කැපී පෙනුණා. පිත්තෙන් දක්ෂතා අතරට පිවිසි ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 23කට කඩුලු 2ක් දවා ගනිමින් පන්දු යැවීමෙන් ද සිය කණ්ඩායමට දායකත්වය දක්වනු ලැබුවා. ඔහු තරගයේ වීරයා ලෙස ද සම්මානයෙන් පිදුම් ලැබුවා.

Leave a comment