Ultimate magazine theme for WordPress.

“නීතිඥයින් ඉන්නවා ක්‍රිකට් එකෙන්ම කන්න බලන් ඉන්නේ” ; “කවුද LPL කණ්ඩායම් මිලදී ගත්තේ?”

“ජනාධිපතිවරයාගේ සහාය මට ලැබෙනවනම් මේ ක්‍රීඩා සංගම්වල දූෂන කරපු 7 – 8 දෙනෙක් මේ වනකොට මේ රටේ ඉන්න ඕනෙ අවුරුදු 10-15 අච්චු වෙලා. ඒ සහයෝගය මම ජනාධිපතිවරයාගෙන් අපේක්ෂා කරනවා. මේක හැදෙන්න ඕනෙ මෙතනින්වත්. ක්‍රීඩාවත් එක්ක සෙල්ලම් කරන්න බෑ. ක්‍රීඩාවට සෙල්ලම් කරන්න ඉඩ තියන්නත් බෑ.” යනුවෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

විපක්ෂය විසින් ගෙන ආ යෝජනාවකට අනුව අද (24) පාර්ලිමේන්තුවේ දී පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබද සභාව කල් තබන අවස්ථාවේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව සදහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නීතිඥ ගාස්තු ලෙස මිලියන 200-300 ක පමණ ප්‍රමාණයක් ගෙවා ඇති බවයි.

“දිගින් දිගටම කිව්වා LPL එකට අනුමැතිය ගන්න. පනතේ පැහැදිලිව තියෙනවා. හැබැයි මේක කිව්ව ගමන්ම දැම්මා නීතිඥයින් ටිකකට. මේකෙත් නීතිඥයින් වගයක් ඉන්නවා ක්‍රිකට් එකෙන්ම කන්න බලන් ඉන්නේ. ක්‍රිකට් ආයතනයේ නායකයින්ට කියන්නේ යමු උසාවි, යමු උසාවි. ඇයි කැපිල්ල හොදයින්නේ. මිලියන දෙතුන් සීය ගෙවලා තියෙනවා නීතිඥ ගාස්තු.

“ඒක නිසා මම ගේනවා ඊළග නීතිය කිසිම පෞද්ගලික කාරණයකට අධිකරණයට මුදල් ගෙවන්න බෑ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුද්ගලික අභිලාෂ වෙනුවෙන්. මේ රටට කෙළවුණේ පුද්ගලික අභිලාෂ නිසා. 

“දැන් අදත් ගිහිල්ලා අධිකරණයට, අධිකරණයට යන්නේ මෙතුමගෙ (පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා) කට වහන්න. ඉතිං වැරැදි නොකර හිටියනම් ප්‍රශ්න එන්නේ නෑනේ. හරියට වැඩ කරානම් කාගෙවත් කටවල් වහන්න කටවල් බදින්න අවශ්‍ය නෑනේ.” 

LPL තරගාවලියේ කණ්ඩායම් හිමිකරුවන් සම්බන්ධයෙන් ද ගැටලු සහගත තත්ත්වයක් පවතින බව අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නා.

“අපිට මේක දූෂිත ඔට්ටු කාරයින්ගේ තිත්පොලක් කරන්න බෑ. කවුද මේ LPL කණ්ඩායම් මිලදී ගත්තේ. මෙයාලා මුදල් හෙව්වේ කොහොමද? මේ අය කොහොමද කටයුතු කරලා තියෙන්නේ. මේ අය හරහා මේ ක්‍රීඩකයින් විකිණෙනවාද? මේව නියාමනයක් නොකෙරුවොත්, අපේ ක්‍රීඩාව තවත් තවත් වල පල්ලට. හැබැයි මේක සමහරුන්ට තාම තේරෙන්නේ නෑ. ක්‍රිකට් විතරක් නෙවෙයි සෑම ක්‍රීඩාවක්ම නියාමනය වෙන්න ඕනෙ. “

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ ආවා මාව හම්බවෙන්න. මට හංගල කියන්න දෙයක් නෑ. මම මුළින්ම කිව්වා; මම පත් වුණාට පස්සේ නිළධාරී මණ්ඩලයක් එනවා රට යන්න. මම කිව්වා මට මේකට අනුමැතිය දෙන්න බෑ. මේ වැඩියි, මෙය අනවශ්‍යයි. අනික ජයන්ත ධර්මදාස මහත්තයාට අතින් ටිකට් එකක් අරං යන්න බැරිද? සල්ලි නැද්ද? මම 2010 ආපු දවසේ ඉදලා භාණ්ඩාගාරෙ එක ශතයක් අරගෙන මම ටිකට් අරං රට ගිහිං නෑ. ඒ ආදර්ශය මම දීලා තියෙනවා. ඇයි ජයන්ත ධර්මදාසට යන්න බැරි. යන්න පුලුවන්. ඔහුට ඕනෙ සමාජ සේවයක් කරලා, ක්‍රිකට් දියුණු කරලා ආදර්ශයක් වෙන්නනම් ඔහුට පුලුවන්.”

හිරු මාධ්‍ය ආයතනයට මෑතකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පැනවූ තහනම සම්බන්ධයෙන් ද මෙහිදී අමාත්‍යවරයා අදහස් පල කළා.

“ඊළග එක තමයි හිරු තහනම. හිරු තහනම දාලා පැයක් යද්දි මම භාණ්ඩාගාරිකට කිව්වා කතා කරලා මේක වැරැදි වැඩක් වහාම ඉල්ලා අස් කර ගන්න කියලා. කනකට ගත්තේ නෑ. එතුමා කිව්වා පණිවිඩේ කියන්න ඕනෙ අයට. හැබැයි කවුරුවත් කනකට ගත්තේ නෑ. වෙලාවකට මාව දකින්නෙත් මෙයාලා හතුරෙක් වගේ. මම කිව්ව ටික කරානම් මේ ප්‍රශ්න එන්නේ නෑ. මට ඕනෙ මේ ක්‍රීඩාව දිනවන්න මිසක් මට ඔය කාත් එක්කවත් ප්‍රශ්න නෑ.”

ක්‍රීඩකයින් තේරීම්වල ගැටලු පවතින බවද ක්‍රීඩා අමාත්‍යවරයා සදහන් කළා.

“තරග පාවාදීම් පිළිබද දිගින් දිගටම කතා කරා. ඒ වාගේම තමයි තේරීම්වලත් ප්‍රශ්න තියෙනවා. ඒකත් පුද්ගලික අභිලාෂ. ඒ තේරීම්වල ප්‍රශ්න නිසා අද ක්‍රීඩාවන් කඩා වැටෙනවා මේ රටේ.”