Ultimate magazine theme for WordPress.

නිර්භය ක්‍රිකට් ගහන්න ශ්‍රී ලංකාව අදත් තරග බිමට; කාර්ඩිෆ් කාළගුණ වාර්තාව මෙන්න

Match Preview

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(23) කාර්ඩිෆ්හි සොෆියා ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගනයේ දී මෙරට වේලාවෙන් රාත්‍රී 11ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

එංගලන්තය මේ වන විට 20යි 20 ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන අතර, ශ්‍රී ලංකාව එහි රැදී සිටින්නේ 8 වන ස්ථානයේයි.

2019 වසරේ සිට මේ දක්වා එංගලන්තය 20යි 20 තරග 16ක් ජය ගෙන ඇති අතර, පරාජයට පත්ව ඇති තරග සංඛ්‍යාව 8ක්.

එම කාලයේ දී ශ්‍රී ලංකාව පරාජයන් 14ක් ලබා ගනිද්දී ජය ගෙන ඇත්තේ තරග 5ක් පමණයි.

ලසිත් මාලිංග, දිනේෂ් චන්දිමාල්, ඇන්ජෙලෝ මැතිව්ස්, උපුල් තරංග, තිසර පෙරේරා සහ දසුන් ශානක වැනි ක්‍රීඩකයින්ගේ නායකත්වය යටතේ පසුගිය කාලයේ දී ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායම තරග වැදුණු අතර, අද තරගයේ සිට එම වගකීම  කුසල් ජනිත් පෙරේරාට හිමිවනවා.

මෙම තරග සංචාරයේ දී ශ්‍රී ලංකාව දක්වන දක්ෂතා මත ඔහුගේ නායකත්ව අනාගතය ද බොහෝ විට තීරණය වනු ඇති.

“අපිට නිර්භයව ක්‍රීඩා කිරීමට හැකියාව තිබිය යුතුයි” යනුවෙන් අදින් ඇරඹෙන තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කුසල් ජනිත් යළි සදහන් කළා. ඒ, ඊයේ(22) පැවැති අතථ්‍ය මාධ්‍ය හමුවකදීයි. “දවසින් දවස අපි එකම ආකල්පයකින් ක්‍රීඩා කළොත් අවසානයේදී ප්‍රතිපල ලැබේවි.”

කුසල් ජනිත් නිර්භය ක්‍රිකට් ක්‍රීඩාවේ වැදගත්කම නිමා වූ බංග්ලාදේශ එක්දින තරගාවලියට පෙර ද සදහන් කළ නමුත්, තරගාවලියේ පළමු තරග දෙක තුළ දී ශ්‍රී ලංකා පිතිකරුවන් ඊට ප්‍රතිචාර දක්වා සිටියේ ඉතා දියාරු පිතිහරඹයකින්.

මේ අතර, නායක කුසල් පෙරේරා වසරකටත් වැඩි කාලයකින් ජාත්‍යන්තර 20යි 20 තරගයක් ක්‍රීඩා කර නොතිබීම ද විශේෂත්වයක්.

එංගලන්තයට එරෙහිව ඔහු 20යි 20 ඉතිහාසයේ දී දක්වා ඇති දක්ෂතා ද එතරම් සතුටුදායක මට්ටමක නැහැ.

එංගලන්තයට එරෙහි තරග 3කදී කුසල් රැස් කර ගෙන ඇත්තේ ලකුණු 26ක් පමණයි.

අද තරගයේ දී ඇතැම් විට ඔහු අංක 3 ස්ථානයේ පන්දුවට පහර දීමට ඉඩ ඇති අතර, ආරම්භක පිතිකරුවන් ලෙස ධනුෂ්ක ගුණතිලක සහ අවිශ්ක ප්‍රනාන්දු කටයුතු කිරීමට ඉඩ තිබෙනවා.

ආබාධයකට ලක්ව සිටි ධනංජය ලක්ෂාන් ද මේ වන විට සම්පූර්ණයෙන් සුවය ලබා සිටින අතර, ඇතැම් විට ඔහුට 20යි 20 ජාත්‍යන්තර වරම් හිමි කර ගැනීමේ අවස්ථාවද හිමි වනු ඇති.

ශ්‍රී ලංකාවට එරෙහිව 20යි 20 තරග පිටියේ දී එංගලන්තය වෙනුවෙන් වැඩි දක්ෂතාවයක් දැක් වූ ක්‍රීඩකයෙකු ලෙස ජොස් බට්ලර් හැදින්විය හැකියි.

ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව 158ක පිතිකරණ වේගයක් සහ 47ක සාමාන්‍යයක් සටහන් කර ගෙන ඇති බැවින් අද තරගයේ දී ඔහු පිළිබද වැඩි අවධානයක් යොමු වනු ඇති.

ආබාධවලට ලක්ව සිටි ජොනී බෙයාර්ස්ටව් සහ ඩාවිඩ් මලාන් මේ වන විට සම්පූර්ණ සුවය ලබා ඇති බව එංගලන්ත නායක ඔයින් මෝර්ගන් සදහන් කළා.

බෙන් ස්ටොක්ස් සහ ජොෆ්ර ආචර් ආබාධවලට ලක්ව සිටීම හේතුවෙන් මෙම තරගාවලියට ක්‍රීඩා නොකරන අතර, අද තරගයේ දී මොයීන් අලී තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ස්ටොක්ස් වෙනුවට කණ්ඩායමට ක්‍රීඩා කරනු ඇති.

කාර්ඩිෆ් ක්‍රීඩාංගනයේ දී මෙතෙක් ක්‍රීඩා කළ සියලු 20යි 20 තරග (තරග 6 ම) ජය ගැනීමට එංගලන්තය සමත්ව තිබීම ද විශේෂත්වයක්.

එමෙන්ම ශ්‍රී ලංකාව සහ එංගලන්තය අවසන් වරට ක්‍රීඩා කළ 20යි 20 තරග 3ම ජය ජය ගෙන ඇත්තේ ද එංගලන්තයයි.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට එංගලන්තය 20යි 20 තරගයකින් පරාජයට පත් කර ඇත්තේ 2014 වසරේ දී යි.

දෙරට අතර මෙතෙක් පවත්වා ඇති 20යි 20 තරග 9න් තරග 5ක් එංගලන්තයත්, තරග 4ක් ශ්‍රී ලංකාවත් ජය ගෙන තිබෙනවා.

මේ අතර, බොහෝ දෙනෙකුගේ වැඩි අවධානයක් යොමුව ඇත්තේ අද තරගයට කාළගුණය කෙසේ බලපාවිද යන කරුණ පිළිබදවයි.

ඒ, එංගලන්තයේ මේ දිනවල පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බැවින්.

කෙසේ වෙතත්, වාර්තා වන ආකාරයට අද පැවැත්වෙන 20යි 20 තරගයට අයහපත් කාළගුණයෙන් කිසිදු බලපෑමක් එල්ල වන්නේ නැහැ.

කාර්ඩිෆ් ප්‍රදේශයට නිකුත් කර ඇති කාළගුණ වාර්තාව පහතින් –

BBC
Leave a comment