නසීම් ශාහ්ට ලෝක කුසලානයත් අහිමි වේවිද?
පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක නසීම් ශාහ්ට එළඹෙන ලෝක කුසාලන ක්‍රිකට් තරගාවලියේ පළමු තරග කිහිපය අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා.
ඒ, මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටය යටතේ ඉන්දියාව සමග පැවැති තරගයේ දී ඔහු මුහුණ දුන් දකුණු උරහිසේ ආබාධය හේතුවෙන්.
මෙම ආබාධය නිසා ඔහුව ආසියානු කුසලාන තරගාවලියේ ඉතිරි තරගවලින් ඉවත් කිරීමට ද කටයුතු කෙරුණා. ඒ අනුව ඔහුට ශ්‍රී ලංකාව සමග ඊයේ(14) පැවැති තරගය සදහා ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.
පාකිස්තාන නායක බාබර් අසාම් ශ්‍රී ලංකා තරගයෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සදහන් කළේ නසීම් ශාහ්ට ලෝක කුසලාන තරගාවලියේ පළමු තරග කිහිපය අහිමි වීමට ඉඩ ඇති බවයි.
ඔහුට සුවය ලැබීම සදහා කොපමණ කලක් ගත වේවිදැයි තමා නිශ්චිතව නොදන්නා බව බාබර් අසාම් කියා සිටියා.
කෙසේ වෙතත්, ඉන්දියාවට එරෙහි තරගයේ දී ආබාධයකට ලක් වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහි තරගය සදහා ක්‍රීඩා නොකළ වේග පන්දු යවන ක්‍රීඩක හැරිස් රවුෆ් ලෝක කුසලාන තරගාවලියට පෙර සම්පූර්ණයෙන්ම සුවය ලබනු ඇති බවයි පාකිස්තාන නායකයා සදහන් කර සිටියේ.