Ultimate magazine theme for WordPress.

නව පුහුණුකරුවන් සිව් දෙනෙකු ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව සහාය පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක නවීඩ් නවාස් මහතා පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(17) තහවුරු කළා.

පසුගිය අප්‍රේල් පළමු වැනිදා සිට බලපැවැත්වෙන පරිදි වසර දෙකක කාලයක් සඳහා ඔහු එම තනතුරට පත් කළ බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඔහු මීට පෙර බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළා.

2020 වසරේදී බංග්ලාදේශය යොවුන් ලෝක කුසලානය ජයගත්තේ ද ඔහුගේ පුහුණුකාරීත්වය යටතේයි.

නවීඩ් නවාස්ගේ සහාය පුහුණුකාරිත්වය යටතේ ශ්‍රී ලංකාව මුහුණදෙන පළමු තරගාවලිය වන්නේ එළඹෙන බංග්ලාදේශ තරග සංචාරයයි.

ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ලෙස පසුගියදා පත් කෙරුණු ක්‍රිස් සිල්වර්වුඩ්ගේ පළමු වගකීම බවට පත් වන්නේ ද මෙම තරග සංචාරයයි.

බංග්ලාදේශ සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට අයත් වන ටෙස්ට් තරග දෙකක් සඳහා ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර අදාළ තරග සංචාරය සඳහා තවත් පුහුණුකරුවන් තිදෙනෙකු නම් කිරීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව චමින්ද වාස් මහතා වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙසත්, පියල් විජේතුංග මහතා දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙසත්, මනෝජ් අබේවික්‍රම මහතා පන්දු රැකීමේ හා සහාය පුහුණුකරුවෙකු ලෙසත් (fielding and support coach) පත් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

බංග්ලාදේශ සංචාරයේ දී මහින්ද හලංගොඩ මහතා කණ්ඩායමේ කළමණාකරු ලෙස කටයුතු කිරීමට නියමිතයි.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය මැයි 15 වනදා ද, දෙවැනි ටෙස්ට් තරගය මැයි 23 වනදා ද ආරම්භ වීමට නියමිතව තිබෙනවා.