නව නීති රීති යටතේ “THE 6IXTY” යන නමින් කොදෙව් දේශයෙන් අලුත් ක්‍රිකට් තරගාවලියක්

“THE 6IXTY” යන නමින් පන්දු 60කින් යුත් (පන්දුවාර 10) නව ක්‍රිකට් තරගාවලියක් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය හා කැරබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ සංවිධායකයින් විසින් හදුන්වා දී තිබෙනවා.
තරගාවලියේ පළමු අදියර අගෝස්තු 24 වැනිදා සිට 28 වැනිදා දක්වා ශාන්ත කිට්ස් සහ නේවිස් හී දී පැවැත්වීමට නියමිතයි.
කාන්තා හා පිරිමි වශයෙන් අංශ දෙකක් යටතේ තරගාවලිය පැවැත්වෙනු ඇති.
තරගාවලිය සදහා නව නීති රීති කිහිපයක් ද හදුන්වා දී තිබෙනවා.
ඒ අනුව කණ්ඩායමක හය වැනි කඩුල්ල දැවී යාමෙන් පසුව එය සැලකෙන්නේ එම කණ්ඩායමේ සියලු පිතිකරුවන් දැවී ගිය ඉනිමක් ලෙසයි.
එනම්, කණ්ඩායමකට කඩුලු 10ක් වෙනුවට හිමිවන්නේ කඩුලු 6ක් පමණයි.
කණ්ඩායමකට පවර්ප්ලේ පන්දුවාර 2ක් හිමි වන බවයි කොදෙව් ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
තෙවැනි පවර්ප්ලේ පන්දුවාරයක්ද ලබා ගැනීමේ අවස්ථාව පිතිකරණ කණ්ඩායමට හිමිවන අතර, එය ලබා ගැනීමටනම් පළමු පන්දු 12 තුළදී හයේ පහර දෙකක් එල්ල කිරීමට පිතිකරුවන්ට සිදු වනවා.
සාමාන්‍යයෙන් ක්‍රිකට් තරගවලදී පන්දුවාරයෙන් පන්දුවාරයට අන්ත මාරු කිරීම සිදු වන නමුත් මෙම තරගාවලියේ දී පන්දු යැවීමේ දී පන්දුවාර 5ක් අඛණ්ඩව එක් අන්තයකින් යොමු කළ යුතුයි.
මිනිත්තු 45ක් තුළ පන්දුවාර 10 යවා නිමා කිරීමට කණ්ඩායමකට නොහැකි වන්නේනම්, අවසන් පන්දු 6 යොමු කිරීමට එම කණ්ඩායමට සිදු වන්නේ එක් පන්දු රකින්නෙකු නොමැතිවයි.
ලොව සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් එක්වීමට නියමිත මෙම තරගාවලිය සදහා පිරිමි කණ්ඩායම් හයක් සහ කාන්තා කණ්ඩායම් තුනක් ක්‍රීඩා කිරීමට නියමිතයි.
The 6IXTY IS HERE!🙌
Welcome to Cricket's Power Game – the world's newest and most exciting format! @6ixtycricket #The6ixty pic.twitter.com/I5G1gKMyiE— Windies Cricket (@windiescricket) June 22, 2022