Ultimate magazine theme for WordPress.

නවසීලන්ත පළමු ඉනිම ලකුණු 340 කට සීමා වෙයි

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි(20).

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 4 ක් දැවී ලකුණු 255 ක් ලබා සිටි අතර, ඔවුන්ගේ සියලු දෙනා ලකුණු 340 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

ඒ, තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු 305 ට පිළිතුරු ලෙසයි.

ඒ අනුව පළමු ඉනිම නිමා වන විට නවසීලන්තය ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 35 ක්.

අද දිනයේ පළමු කඩුල්ල හෙවත් නවසීලන්ත ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙස ටොම් බ්ලන්ඩල් ලකුණු 25 කට දැවී ගියා. ඩැරල් මිචෙල් ලකුණු 57 කට දුවද්දී දැවී යාමත් සමග නවසීලන්ත ඉනිමේ කඩුලු කිහිපයක් අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

මිචෙල් සැන්ට්නර් ලකුණු දෙකකටත්, ටිම් සවුති ලකුණු 3 කටත්, අජාස් පටෙල් ලකුණු 6කටත් දැවී ගියා.  නමුත්, ග්ලේන් පිලිප්ස් පන්දු 48 කින් ලකුණු 49 ක් නොදැවී ලබා ගනිමින් නවසීලන්තය ලකුණු 340 ක් කරා රැගෙන ගියේ අවසන් කඩුල්ලට William O’Rourke (ලකුණු 2) සමග එක්ව ලකුණු 36 ක සම්බන්ධතාවයක් ද ගොඩ නගමින්.

නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ටොම් ලේතම් ලකුණු 70 ක් රැස් කළ අතර, කේන් විලියම්සන් ලකුණු 55 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය ලකුණු 136 කට කඩුලු 4 ක් දවා ගත් අතර, රමේෂ් මෙන්ඩිස් ලකුණු 101 කට කඩුලු 3 ක් බිද හෙලුවා. ධනංජය ද සිල්වා දවා ගත් කඩුලු ගණන දෙකක්.

Leave a comment