නවසීලන්තයට වඩා ශ්‍රී ලංකාව විශාල අභියෝගයක් – හතුරුසිංහ

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට(22) සිල්හෙට් හී දී ආරම්භ වනවා. තරගය මෙරට වේලාවෙන් පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතයි.
මෙම තරගාවලිය සදහා කණ්ඩායම් දෙකම ක්‍රීඩා කරන්නේ ප්‍රධාන ක්‍රීඩකයින් දෙදෙනෙකු නොමැතිවයි.
අත්දැකීම් බහුල බංග්ලාදේශ මැදපෙල පිතිකරු මුෂ්ෆිකර් රහීම්ට ආබාධයක් හේතුවෙන් මෙම තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති අතර, ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුට ද ආබාධයක් නිසා මෙම තරගාවලිය අහිමි වී තිබෙනවා.
අවසන් වරට ශ්‍රී ලංකාව 2022 වසරේ දී බංග්ලාදේශයේ දී ක්‍රීඩා කළ ටෙස්ට් තරගාවලියේ දී අසිත තරග දෙකකදී කඩුලු 13 ක් දවා ගැනීමට සමත් වුණා.
පළමු ටෙස්ට් තරගය සදහා පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරන නමුත්, තණකොල සහිත තණතීරුවක් ලැබීමට නියමිතව ඇති බව ද සදහන්.
සිල්හෙට් ටෙස්ට් තරගයට වර්ෂාවෙන් ද බාධා එල්ල වීමේ අවධානමක් පවතින බවටයි කාළගුණ අනාවැකි පලව ඇත්තේ.
බංග්ලාදේශ කණ්ඩායම බංග්ලාදේශයේ දී මෙතෙක් ශ්‍රී ලංකාවට එරෙහිව කිසිදු ටෙස්ට් තරගයක් ජය ගෙන නැහැ. දෙරට අතර මෙතෙක් පවත්වා ඇති ටෙස්ට් තරග 24 න් තරග 18 ක් ශ්‍රී ලංකාව ජය ගෙන ඇති අතර, බංග්ලාදේශය ජය ගෙන ඇත්තේ එක් තරගයක් පමණයි.
ශ්‍රී ලංකා පිතිකරුවන් වන ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් හා දිමුත් කරුණාරත්න ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරග ප්‍රමාණය (273) සලකා බැලූ විට එය සමස්ත බංග්ලාදේශ සංචිතයේම ක්‍රීඩකයින් මෙතෙක් ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරගවල එකතුවට (271) වඩා වැඩි වීම කැපී පෙනෙනවා.
“ශ්‍රී ලංකාවට පළපුරුදු පිතිකරණ ලැයිස්තුවක් තිබෙන බව අපට වැටහෙනවා. ඔවුන් ප්‍රබල කණ්ඩායමක්. ක්‍රීඩකයින් දෙදෙනෙකු පමණ (මැතිව්ස් පමණි) ටෙස්ට් තරග 100 කට වඩා ක්‍රීඩා කරලා ඇති. නමුත් අපි අභියෝගයට මුහුණ දෙනවා.” යනුවෙන් බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළා.
බංග්ලාදේශය විසින් පසුගිය නොවැම්බර් මාසයේ දී සිල්හෙට් ක්‍රීඩාංගනයේ දී ම නවසීලන්ත කණ්ඩායම ටෙස්ට් තරගයකින් පරාජයට පත් කළ නමුත්, හතුරුසිංහ පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලිය ඊට වඩා වැඩි අභියෝගයක් වන බවයි.