Ultimate magazine theme for WordPress.

නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් සිදු වේවිද? චරිත් පිළිතුරු දෙයි

අයි.සී.සී ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථාන තුන අතරට පැමිණීම තම කණ්ඩායමේ අරමුණ බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පවසනවා.

නවසීලන්තය සමග හෙට ආරම්භ වන විස්සයි 20 තරගාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහ අද(8) දඹුල්ලේ දී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු ඒ බව සදහන් කළා.

2014 වසරට පෙර පැවැති බොහෝ ප්‍රධාන තරගාවලියන්හීදී අවසන් පූර්ව වටයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ගත් ආකාරයට වත්මන් කණ්ඩායම ද දියුණු කිරීම සිය බලාපොරොත්තුව බවයි ඔහු පෙන්වා දුන්නේ.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පදනම ශක්තිමත් වන තුරු කණ්ඩායම ජයග්‍රාහී මාවතක රැගෙන යාම වෙනුවෙන් හොදම ක්‍රීඩකයින් 11 දෙනා ක්‍රීඩා කරවීමට අපේක්ෂා කරන බව ද චරිත් අසලංක සදහන් කළා. නවසීලන්ත තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් සිදු විය හැකිදැයි මාධ්‍යවේදියෙකු යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් ඔහු ඒ බව සදහන් කළා.

“අපි මෑතක තමයි ටිකක් එක දිගට ජයග්‍රහන කරන්න පටන් ගත්තේ. ඒක හරි වැදගත්. එකම කණ්ඩායමක් ක්‍රීඩා කරේ ඒ හින්දා. ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා අපේ ක්‍රිකට්වල පදනම තව ටිකක් ශක්තිමත් වෙනකම් හොදම ක්‍රීඩකයින් 11 ක්‍රීඩා කරන්න” යනුවෙන් චරිත් පවසා සිටියා.

මේ අතර, ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන භානුක රාජපක්ෂට 2026 වසර දක්වා කණ්ඩායමේ වගකීමක් භාර දී ඇති බව ශ්‍රී ලංකා නායකයා මෙම මාධ්‍ය හමුවේ දී සදහන් කළා.

අංක 6 හා 7 ක්‍රීඩා කිරීම සදහා ප්‍රහාරාත්මක හා අත්දැකීම් සහිත පිතිකරුවෙකුගේ අවශ්‍යතාවය මත ඔහුව කණ්ඩායමට කැදවූ බවයි චරිත් පෙන්වා දුන්නේ.

ඒ අනුව භානුක මේ වන විට ඉතා කැපවීමෙන් පුහුණුවීම් සිදු කරන බවත්, ඉදිරියේදී ඔහු කණ්ඩායමට අත්‍යවශ්‍ය ක්‍රීඩකයෙකු වනු ඇති බවත් චරිත් වැඩිදුරටත් සදහන් කර සිටියා.