Ultimate magazine theme for WordPress.

නවතම ටෙස්ට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් නිවේදනය කෙරේ

නවතම අයි.සී.සී ටෙස්ට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(19) නිවේදනය කළා.

ඊට අනුව ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි පළමු 10 දෙනා අතරට යළි පිවිසීමට ඉන්දීය නායක රෝහිත් ෂර්මා සමත්ව තිබෙනවා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ශතකයක් වාර්තා කරමින් ඔහු දැක් වූ දක්ෂතා හේතුවෙන්.

එම තරගයේ පළමු ඉනිමේ දී රෝහිත් ලකුණු 103 ක් රැස් කළා. ඒ අනුව ඔහු පිතිකරුවන් අතර 10 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 3කින්.

සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කරමින් කොදෙව්වන්ට එරෙහිව ලකුණු 171 ක් රැස් කළ යශස්වි ජයිස්වාල් ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරිම්වලට ඇතුළත්ව ඇත්තේ එහි 73 වැනි ස්ථානය දිනා ගනිමින්.

පළමු ටෙස්ට් තරගයේ දී කඩුුලු 12 ක් දවා ගත් රවිචන්ද්‍රන් අශ්වින් ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි සිය පෙරමුණ තවදුරටත් ශක්තිමත් කර ගැනීමට සමත්ව තිබෙනවා.

එම තරගයේ දී කඩුලු 5ක් බිද හෙලූ රවීන්ද්‍ර ජඩේජා පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 7 වැනි ස්ථානය දක්වා ස්ථාන 3 කින් ඉදිරියට පැමිණ ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.