ධනංජය – කමිදු සටන්කාමී සම්බන්ධතාවය ශ්‍රී ලංකාව යළි සටනට අවතීර්ණ කරයි
Day 2 Report
ධනංජය ද සිල්වා හා කමිදු මෙන්ඩිස් 6 වැනි කඩුල්ල සදහා ගොඩ නැගූ ලකුණු 118 ක නොබිදුණු සම්බන්ධතාවය හමුවේ එංගලන්තය සමග ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේ දී යළි සටනට අවතීර්ණ වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් අද දිනයේ දී ද නියමිත කාලයට පෙර තරගය නිමා කළ අතර, ඒ වන විට ශ්‍රී ලංකාව කඩුලු පහක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 211 ක්. ඒ, 5 වැනි කඩුල්ල ලකුණු 93 දී දැවී ගිය පසුබිමකයි.
ඉනිමේ පළමු කඩුල්ල ලෙස දිමුත් කරුණාරත්න ලකුණු 9කට දුවද්දී දැවී ගියා. කුසල් මෙන්ඩිස් ලකුණු 14 කටත්, ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 3 කටත් දවා ගැනීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුණා.
වේගවත් අර්ධ ශතකයක් වාර්තා කළ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 64ක් රැස් කළේ පන්දු 51 කින්. දිනේෂ් චන්දිමාල් ලකුණු ලබා ගැනීමට පෙර දැවී ගියා.
නායක ධනංජය ද සිල්වා ලකුණු 23 ක් ලබා සිටියදී ලබා දුන් උඩ පන්දුවක් මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ ජොෂ් හල් අතින් ගිලිහී ගිය අතර, ඉන් උපරිම ප්‍රයෝජන ලබා ගනිමින් සිටින ධනංජය අද දිනය නිමා වන විට නොදැවී ලකුණු 64 ක් ලබා කඩුල්ලේ රැදී සිටියා. කමිදු මෙන්ඩිස් නොදැවී ලකුණු 54 යි.
අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තේ පානයෙන් පසුව එංගලන්තයට දග පන්දු යවන්නන්ගෙන් පමණක් පන්දු යැවීමට සිදු වීම ද ශ්‍රී ලංකාවට යම් මට්ටමක වාසි සහගත තත්ත්වයක් නිර්මාණය කළා.
අද දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දෙමින් සිටි එංගලන්තය කඩුලු 3 ක් දැවී ලකුණු 221 ක් ලබා සිටියා. එංගලන්ත ඉනිමේ සියලු දෙනා ලකුණු 325 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.
එංගලන්ත ඉනිමේ අවසන් කඩුලු 6 ලකුණු 35 ක් තුළ බිද වැටීම කැපී පෙනුණා.
ඔලී පෝප් ලකුණු 154 ක් රැස් කළේ හයේ පහර 2 ක් හා හතරේ පහර 19 ක් සමගින්. බෙන් ඩකට් ලකුණු 86 යි. සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු 20 සීමාව පසු කළේ නැහැ.
පන්දු යැවීමේ දී මිලාන් රත්නායක ලකුණු 56 කට කඩුලු 3 ක් දවා ගත්තා. විශ්ව ප්‍රනාන්දු, ලහිරු කුමාර හා ධනංජය ද සිල්වා අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.
මේ වන විට ශ්‍රී ලංකාව පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 114 ක්.