Ultimate magazine theme for WordPress.

ධනංජයගේ සටන හා තීක්ෂණ ප්‍රමුඛ පන්දු යවන්නන් ශ්‍රී ලංකාව අවමන් සහගත පරාජයකින් ගලවයි

Match Report

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි හය වටයේ දෙවැනි තරගයෙන් නෙදර්ලන්තය පරදා ලකුණු 21 ක තියුණු ජයක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ යළි පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(30) සමත් වුණා.

ඒ අනුව සුපිරි 6 වටයේ ප්‍රසාද ලකුණු සටහනට අනුව තරග 3කදී තරග 3ක් ජය ගෙන ඇති ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 6ක් සමගින් පෙරමුණේ පසුවන අතර, ප්‍රසාද ලකුණු හයකටම හිමිකම් කියන සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැදී සිටිනවා.(ප්‍රසාද ලකුණු සටහන පහතින්)

බුලවායෝ හී දී පැවැති තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 213 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්තයට පන්දුවාර 40 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 192 පමණයි.

නෙදර්ලන්ත ඉනිම ආරම්භ කළ Vikramjit Singh හා Max O’Dowd ලකුණු නොලබා සිටියදී දවා ගැනීමට පිළිවෙලින් ලහිරු කුමාර හා ඩිල්ෂාන් මදුෂංක සමත් වුණා. කෙසේ වෙතත්, ලහිරු කුමාර මෙම තරගයේ දී ආබාධයකට ලක් වීම හේතුවෙන් යොමු කරනු ලැබුවේ පන්දුවාර 2ක් පමණයි.

පළමු කඩුලු දෙක දැවී යාමෙන් අනතුරුව තෙවැනි කඩුල්ල සදහා ලකුණු 77 (80) ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට Wesley Barresi හා Bas de Leede සමත් වුණා.

Barresi ලකුණු 52 ක් ලබා සිටියදී දුවද්දී දැවී යාමත් සමග එම සම්බන්ධතාවය බිද වැටුණා. Teja Nidamanuru ලකුණු නොලබා සිටියදී දැවී ගියේ වනිදු හසරංගගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

Bas de Leede ලකුණු 41 කටත්, Saqib Zulfiqar ලකුණු දෙකකටත්, Logan van Beek ලකුණු නොලබා සිටියදීත් දවා ගැනීමට මහීීෂ් තීක්ෂණ සමත් වුණේ තරගයේ පාලනය ශ්‍රී ලංකාවට නතු කර දෙමින්. එම කඩුලු 3 ලකුණු 6 ක් තුළ බිද වැටුණා. (එහි දර්ශන පහතින් නරඹන්න)

Shariz Ahmad ලකුණු දෙකකට දුවද්දී දැවී ගියේ කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ඨ පන්දු රැකීමක් හමුවේයි. අනතුරුව Scott Edwards සමග පිටියේ එක් වූ Ryan Klein ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක් වෙමින් 9 වැනි කඩුල්ල සදහා ලකුණු 25 (28) ක සම්බන්ධතාවයක් ගොඩ නැගූ නමුත්, වනිදුගේ පන්දුවක් හමුවේ Klein ලකුණු 5කට දැවී යාමත් සමග යළි තරගයේ පාලනය ශ්‍රී ලංකාවට නතු වුණා.

Scott Edwards හයේ පහර 2 ක් හා හතරේ පහර 4 ක් සමගින් පන්දු 68 කින් නොදැවී ලකුණු 67 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත වූ නමුත්, එය සාර්ථක වූයේ නැහැ. ඒ, අවසන් කඩුල්ල ලෙස Aryan Dutt ලකුණු 7 කට දවා ගැනීමට දසුන් ශානක සමත් වීම හේතුවෙන්.

පන්දු යැවීමේ දී තීක්ෂණ ලකුණු 31 කට කඩුලු 3 ක් ද, වනිදු හසරංග ලකුණු 53 කට කඩුලු 2 ක් ද බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලකුණු 213 ක් රැස් කළේ ඉනිමේ සිව්වැනි කඩුල්ල ලකුණු 34 දී ද, පස්වැනි කඩුල්ල ලකුණු 67 දී ද දැවී ගිය පසුබිමකයි.

තරඟයේ පළමු පන්දුවෙන්ම පැතුම් නිස්සංක දවා ගැනීමට Logan van Beek සමත් වුණා. කුසල් මෙන්ඩිස් ලකුණු 10 කට දැවී ගිය අතර, සධීර සමරවික්‍රම රැස් කළේ එක් ලකුණක් පමණයි.

චරිත් අසලංක ලකුණු දෙකකට දැවී ගියා. දිමුත් කරුණාරත්න ලකුණු 33 ක් ලබා ගනිමින් මුල් පෙළ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුණා.

යළිත් අසාර්ථක වූ නායක දසුන් ශානක ලකුණු 5 කට දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන්ව තිබුණේ කඩුලු 6කට ලකුණු 96 ක් ලෙසයි.

© ICC via Getty Images

වනිදු හසරංග ලකුණු 20 ක් ලබා ගනිමින් පසුපෙලට යම් ශක්තියක් එක් කළා. ශ්‍රී ලංකා ඉනිමේ හොඳම සබඳතාවය ගොඩනැගුණේ ඔහුගේ දැවී යාමෙන් අනතුරුවයි. ධනංජය ද සිල්වා හා මහේෂ් තීක්ෂණ 8 වැනි කඩුල්ල සඳහා එලෙස ගොඩ නැගූ සම්බන්ධතාවය ලකුණු 77 (78) ක්. තීක්ෂණ ලකුණු 28(47) කට දැවී යාමත් සමග එම සබදතාවය බිද වැටුණා.

ධනංජය ද සිල්වා පන්දු 111 කින් සටන්කාමී ලකුණු 93 ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිමේ ගැළවුම්කරු බවට පත් වුණා. ඔහුගේ ඉනිමට හයේ පහර 2 ක් හා හතරේ පහර 8 ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී Logan van Beek හා Bas de Leede කඩුලු 3 බැගින් බිද හෙලුවා.

[team_standings 47779]