ධනංජයගේ සටන අපතේ යයි; තරගාවලියේ ජය එංගලන්තයට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ද තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම මෙරට වේලාවෙන් අද(2) අලුයම සමත් වුණා.
ඒ, දෙරට අතර පැවැති දෙවැනි එක්දින තරගයෙන් ඔවුන් කඩුලු 8ක ජයක් වාර්තා කරමින්.
තරගය ජය ගැනීම සදහා එංගලන්තයට ලකුණු 242ක ඉලක්කයක් හිමි වූ අතර, එය කඩුලු 2ක් පමණක් දැවී සිටියදී එංගලන්තය පසුකර ගියේ පන්දුවාර 43ක් අවසානයේ දී යි. (244/2)
ජේසන් රෝයි ලකුණු 60ක් රැස් කළ අතර, ජොනී බෙයාර්ස්ටව් ලකුණූ 29කට දැවී ගියා.
නායක ඔයින් මෝර්ගන් නොදැවී ලකුණු 75ක් හා ජෝ රූට් නොදැවී ලකුණු 68ක් රැස් කරමින් එංගලන්තයට පහසු ජයක් තහවුරු කර දුන්නා.
ඔවුන් දෙදෙනා අතර 3 වන කඩුල්ලට ගොඩ නැගුණු නොබිදුණු සබදතාවය ලකුණු 140ක්.
පන්දු යැවීමේ දී වනිදු හසරංග සහ චාමික කරුණාරත්න එක් කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 9ක් දැවී ලකුණු 241ක් ලබා ගත්තේ ධනංජය ද සිල්වාගේ සටන්කාමී ලකුණු 91න්(91) සවිමත් වෙමින්.
ශ්‍රී ලංකා ඉනිම එක් අවස්ථාවක පන්දුවාර 6.5ක් අවසානයේ දී සටහන්ව තිබුණේ කඩුලු 4කට ලකුණු 21ක් ලෙසයි.
කුසල් ජනිත් ලකුණු නොලබාත්, අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 2කටත්, පැතුම් නිස්සංක ලකුණු 5කටත් සහ චරිත් අසලංක ලකුණු 3කටත් දැවී ගියා.
නව පන්දුවේ දෝලනය සම්බන්ධයෙන් නිසි අවබෝධයක් සහිතව පන්දුවට පහර දීමට නොහැකි වීම නිසා කඩුලු කිහිපයක්ම දැවී ගිය අතර, කෙටි පන්දු යොමු කරමින් ද ශ්‍රී ලංකා පිතිකරුවන් දවා ගැනීමට එංගලන්ත පන්දු යවන්නන් මෙම තරගයේ දී කටයුතු කළා.
5 වන කඩුල්ල සදහා ධනංජය සහ වනිදු හසරංග අතර ලකුණු 65ක සබදතාවයක් ද, 6 වන කඩුල්ල සදහා ධනංජය සහ දසුන් ශානක අතර ලකුණු 78ක සබදතාවයක් ද ගොඩ නැගුණා.
වනිදු ලකුණු 26කටත්, දසුන් ශානක ලකුණු 47කටත් දැවී ගිය අතර, චාමික කරුණාරත්න ලකුණු 21කට දැවී ගියා.
සුවිශ්ෂී පන්දු යැවීමක නිරත වූ සෑම් කරන් කඩුලු 5ක් සහ ඩේවිඩ් විලී කඩුලු 4ක් දවා ගත්තා.