දෙවැනි 20යි 20න් පසු ලක්නව් තණතීරු භාරකරු ධූරයෙන් නෙරපයි
ලක්නව් හි ‘ඒකනා’ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ තණතීරු භාරකරු එම ධූරයෙන් නෙරපා හැර තිබෙනවා.
ඒ, ඉන්දියාව හා නවසීලන්තය අතර පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය සදහා මන්දගාමී හා දග කැවෙන දුර්වල තණතීරුවක් සකස් කිරීම හේතුවෙන්.
එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 99 ක් පමණක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව ඉනිම නිමා වීමට පන්දුවක් පමණක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
මෙම තරගයේ දී කණ්ඩායම් දෙකේම කිසිදු පිතිකරුවෙකු එක් හයේ පහරක් හෝ එල්ල කිරීමට සමත් වූයේ නැහැ.
ක්‍රියාත්මක වූ පන්දුවාර 39.5 න් පන්දුවාර 30 ක් ම දග පන්දු යවන්නන් විසින් යොමු කිරීම ද කැපී පෙනුණා.
“අවංකව කීවොත්, ඒක ඉතා නරක තණතීරුවක්” යනුවෙන් ඉන්දීය නායක හර්ඩික් පාන්ඩ්යා ද මාධ්‍ය වෙත සදහන් කර සිටියා.
“තණතීරු භාරකරු ඉවත් කර ඔහු වෙනුවට අත්දැකීම් බහුල තණතීරු භාරකරුවෙකු වන සන්ජීව් කුමාර් අගාර්වල් පත් කළා” යනුවෙන් උත්තර් ප්‍රදේශ් ක්‍රිකට් සංගමයේ ප්‍රකාශකයෙකු පී ටී අයි පුවත් සේවය වෙත පවසා තිබෙනවා.
ඉන්දියාව හා නවසීලන්තය අතර 20යි 20 තරගාවලිය මේ වන විට තරග 1-1 ක් ලෙස සම තත්ත්වයේ පවතින අතර, තෙවැනි හා අවසන් 20යි 20 තරගය හෙට(1) අහ්මදාබාද් හී දී පැවැත්වීමට නියමිතයි.