දිමුත්, පැතුම්, කුසල්, සධීරගේ අර්ධ ශතක හමුවේ එක්සත් අරාබියට 356 ක දැවැන්ත ඉලක්කයක්
Innings Report
2023 අයි.සී.සී ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ තෙවැනි තරගය මේ වන විට බුලවායෝ හි Queens Sports Club ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමත් වූ අතර, ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව තරගයේ පළමුව පන්දු යැවීමටයි ඔවුන් තීරණය කළේ.
ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 355 ක් ලබා ගැනීමට සමත් වුණා.
දිමුත් කරුණාරත්න හා පැතුම් නිස්සංක අතර ආරම්භක කඩුල්ල සදහා ලකුණු 95 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණා. දිමුත් ලකුණු 52 කට දැවී යාමත් සමග එම සම්බන්ධතාවය බිද වැටුණා. ඔහු අද වාර්තා කළේ සිය 9 වැනි හා අඛන්ඩව වාර්තා කළ තෙවැනි එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකයයි.
සිය 8 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ පැතුම් නිස්සංක ලකුණු 52 යි. කුසල් මෙන්ඩිස් පන්දු 63 කින් ලකුණු 78 ක් ලබා ගත්තා. ඒ, හතරේ පහර 10 ක් ද සමගින්. ශ්‍රී ලංකා ඉනිමේ පළමු පිතිකරුවන් සිව්දෙනාම අර්ධ ශතක වාර්තා කිරීම විශේෂත්වයක්.
අංක 4 පිතිකරු වූ සධීර සමරවික්‍රම පන්දු 64 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 73 ක්. එය ඔහුගේ දෙවැනි එක්දින අර්ධ ශතකයයි. හතරේ පහර 9කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා. මෙන්ඩිස් හා සධීර අතර තෙවැනි කඩුල්ල සදහා ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 105 (79) ක්.
දසුන් ශානක එක් ලකුණකටත්, ධනංජය ද සිල්වා ලකුණු 5 කටත් දැවී ගියා.
චරිත් අසලංක පන්දු 23 කින් නොදැවී ලකුණු 48 ක් ලබා ගත්තේ හයේ පහර 2 ක් හා හතරේ 5 ක් සමගින්. වනිදු හසරංග පන්දු 12 කින් හතරේ 3 ක් ද සමගින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 23 ක්. ඔවුන් දෙදෙනා අතර 7 වැනි කඩුල්ල සදහා පන්දු 22 කින් ලකුණු 58 ක නොබිදුණු සම්බන්ධතාවයක් ගොඩ නැගුණා.
පන්දු යැවීමේ දී අලී නසීර් ලකුණු 44 කට කඩුලු 2 ක් දවා ගත්තා.