දිමුත්ගේ ආබාධය ගැන ක්‍රිකට් ආයතනයෙන් තවත් නිවේදනයක්

ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න මේ වන විට සුවය ලබමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
කෙසේ වෙතත්, ගාල්ලේ දී මේ වන විට පැවැත්වෙන ශ්‍රී ලංකා – පාකිස්තාන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ දී අවශ්‍යතාවයක් ඇති වුවහොත් පමණක් ඔහු පිතිකරණයේ නිරත වන බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
ඒ අනුව දෙවැනි ඉනිමේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස ඕෂද ප්‍රනාන්දු සමගින් නිරෝෂන් දික්වැල්ල කටයුතු කරනවා.
දිමුත් කරුණාරත්න දෙවැනි ටෙස්ට් තරගය අතරතුර දී පිට කොන්ද ආශ්‍රිත ආබාධ තත්ත්වයකට ගොදුරු වූ අතර, ඒ හේතුවෙන් ඔහු පාකිස්තාන පළමු ඉනිමේ දී පන්දු රැකීම සදහා ද එක් වූයේ නැහැ.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 378 ක් ලබා ගත්තා.
පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායමේ සියලු දෙනා අද පෙරවරුවේ දී දැවී ගියේ ලකුණු 231 කටයි.