Ultimate magazine theme for WordPress.

දිනුරගේ ශතකය හමුවේ ශ්‍රී ලංකාවෙන් සටන්කාමී ලකුණු පුවරුවක් ; එංගලන්තය 131 ක් පිටුපසින්

Day 3 Report

සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම හා එංගලන්ත වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු සිව්දින ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය මෙරට වේලාවෙන් ඊයේ(10) රාත්‍රියේ නිමා වුණා.

ඒ වන විට Wormsley හි පැවැත්වෙන තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත යොවුන් පිල කඩුලු 4 ක් දැවී ලකුණු 193 ක් ලබා සිටියා.

Freddie McCann ලකුණු 92 ක් රැස් කළ අතර, Keshana Fonseka නොදැවී ලකුණු 72 යි. Jaydn Denly ලකුණු 6කටත්, Hamza Shaikh එක් ලකුණකටත්, Noah Thain ලකුණු 6කටත් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. Rocky Flintoff නොදැවී ලකුණු 8යි.

පන්දු යැවීමේ දී විහස් තෙව්මික ලකුණු 37 කට කඩුලු 2 ක් දවා ගත්තා. නාදන් කල්දේරා හා ප්‍රවීන් මනීෂ අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පළමු දිනය අවසන් වන විට කඩුලු 5 ක් දැවී ලකුණු 177 ක් ලබා සිටි අතර, දෙවැනි දිනය වර්ෂාව හේතුවෙන් සම්පූර්ණයෙන්ම අත්හැර දැමුණා. පළමු දිනයේ ද වර්ෂාව හේතුවෙන් ක්‍රියාත්මක වූයේ පන්දුවාර 42.4 ක් පමණයි.

තෙවැනි දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 324 කට සීමා කිරීමට එංගලන්ත යොවුන් පන්දු යවන්නන් සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 4 ලකුණු 37 ක් තුළ දවා ගැනීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වූ පසුබිමකයි ශ්‍රී ලංකා මැද පෙල හා පසුපෙල පිතිකරුවන් සටන්කාමී පිතිහරඹයක නිරත වෙමින් ශ්‍රී ලංකාව සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියේ.

ආරම්භක පිතිකරුවන් වූ පුලිදු පෙරේරා ලකුණු 13 කටත්, සදෙව් සමරසිංහ ලකුණු දෙකකටත් දැවී ගියා. ශරුජන් ශන්මුගනාදන් ලකුණු 10 යි. ගයන වීරසිංහ ලබා ගත්තේ ලකුණු 7ක් පමණයි. අනතුරුව නායක දිනුර කලුපහන හා මහිත් පෙරේරා 5 වැනි කඩුල්ලට ලකුණු 66 ක සම්බන්ධතාවයක් ගොඩ නගමින් බිද වැටුණු ඉනිම ගොඩ නැගීම ආරම්භ කළා. මහිත් පෙරේරා දැවී ගියේ ලකුණු 22 ක් ලබා සිටියදීයි.

දිනුර කලුපහන ලකුණු 104 ක් ලබා ගත්තේ පන්දු 144 කින් හයේ පහරක් හා හතරේ පහර 13 ක් සමගින්. දිනිරු අබේවික්‍රමසිංහ ලකුණු 43 කට දැවී ගිය අතර, දිනුර හා දිනිරු අතර 6 වැනි කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 99 ක්. නාදන් කල්දේරා ලකුණු 55 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පසු පෙල ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී AM French කඩුලු 4 ක් දවා ගත්තේ ලකුණු 81 ක් ලබා දෙමින්.

මේ වන විට එංගලන්තය පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 131 ක්.

Leave a comment