ද්විත්ව ශතකය අහිමි වීම ගැන කමිදු පල කළ අදහස්
අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම සම්බන්ධයෙන් මේ මොහොතේ නොසිතන බවත්, තරගාවලියෙන් තරගාවලියට සැලසුම් සකස් කරමින් තරග ජය ගැනීම සිය අපේක්ෂාව බවත් ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා පවසනවා.
ගාල්ලේ දී නවසීලන්තය පරදා තරග 2-0 ක තරගාවලි ජයක් වාර්තා කිරීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.
ශ්‍රී ලංකාව මේ වන විට අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවන අතර, එහි පළමු ස්ථානය ඉන්දියාවටත්, දෙවැනි ස්ථානය ඔස්ට්‍රේලියාවටත් හිමිව තිබෙනවා.
ඒ අනුව ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට මනා අවස්ථාවක් උදා වී ඇති අතර, ඒ සදහා ඉදිරියේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව එරට දී හා ඔස්ට්‍රේලියාවට එරෙහිව මෙරට දී පැවැත්වෙන ටෙස්ට් තරග හතරෙන් අවම වශයෙන් තරග 3ක් ජය ගැනීම ශ්‍රී ලංකාවට අතිශය වැදගත්.
“මම තරගාවලියෙන් තරගාවලිය තමයි බලන්නේ. මොකද ගොඩක් දුර බැලුවොත් ළග තියෙන තරග අපිට හරියට කරගන්න බෑ. ඉතිං මම හැමතිස්සේම ක්‍රීඩකයින්ටත් කියන්නේ අපි තරගයෙන් තරගය ජයග්‍රහනය කරගෙන යමු. එතකොට අපිට ප්‍රසාද ලකුණු සටහනේ වෙන්න ඕනේ දේවල් නිකම්ම වෙනවා.” යනුවෙන් ධනංජය ද සිල්වා සදහන් කළා.
මේ අතර, කමිදු මෙන්ඩිස් ශ්‍රී ලංකා පළමු ඉනිමේ දී නොදැවී ලකුණු 182 ක් ලබා සිටි අවස්ථාවේ දී ඔහුට ද්විත්ව ශතකය වාර්තා කිරීමට අවස්ථාවක් ලබා නොදී ඉනිම අත්හිටුවීමට නායක ධනංජය ද සිල්වා කටයුතු කළ අතර, ඒ සම්බන්ධයෙන් ඇතැම් පාර්ශවවලින් යම් විවේචන එල්ල වනු දැක ගත හැකි වුණා.
මේ සම්බන්ධයෙන් කමිදු මෙන්ඩිස් මෙම මාධ්‍ය හමුවේ දී අදහස් පල කළා.
“අපි ඇත්තටම ලොකු ලකුණු ප්‍රමාණයක් ලකුණු පුවරුවට දාලා තිබ්බේ. මම දිවා ආහාරයට එනකොටත් ලකුණු 136 ක් ගහලා හිටියේ. සැලසුම තිබ්බේ දිවා ආහාරයෙන් පස්සේ පොඩි වෙලාවක් ගහලා දෙනවා කියලා.” යනුවෙන් කමිදු කියා සිටියා.
“මම කණ්ඩායම වෙනුවෙන් කරන්න පුලුවන් උපරිම කරනවා. මම හිතනවා ඒ තීරණය හරි වෙලාවෙදි ගත්තේ මොකද අපි හවස කඩුලු දෙකක් ගත්තා. අපි හැමෝම දන්නවා ගාල්ලේ අන්තිම පැයේ බැට් කරන කණ්ඩායමට සෑහෙන්න අමාරුයි බැට් කරන්න. ඉතිං මම හිතන්නේ ඒ වෙලාවේ ගත්ත තීරණය නිසා තමයි ඊයේ උදේ අපිට ඒ කට්ටියම දවා ගන්න පුලුවන් වුණේ ඉක්මණට. මම ඒ ගැන කණගාටු වෙන්නේ නෑ.”
දර්ශන පහතින් –