Ultimate magazine theme for WordPress.

දරුණු පරාජයෙන් පසු ඔස්ට්‍රේලියානු සංචිතයට වෙනසක්

ඉන්දියාව සමග පැවැත්වෙන බෝර්ඩර්-ගවස්කාර් කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතයට වමත් දග පන්දු යවන ක්‍රීඩක මැතිව් කුහ්නෙමන් (Matthew Kuhnemann) කැදවා තිබෙනවා.

පා දග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්වෙප්සන් ඔහුගේ හා ඔහුගේ බිරිදගේ පළමු දරු උපත වෙනුවෙන් එක්වීමට යළි ඔස්ට්‍රේලියාවට පිටත්ව යන බැවිනුයි මෙම නම් කිරීම සිදු කර ඇත්‍තේ.

කෙසේ වෙතත්, මිචෙල් ස්වෙප්සන් තෙවැනි ටෙස්ට් තරගයට පෙර යළි ඔස්ට්‍රේලියානු සංචිතය සමග එක් වනු ඇති.

ඇෂ්ටන් ඒගාර් සංචිතයේ රැදී සිටියද පළමු ටෙස්ට් තරගය සදහා ඔහුව කණ්ඩායමට නම් නොකර පිට දග පන්දු යවන්නන් දෙදෙනෙකු වන නේදන් ලයන් හා ටොඩ් මර්ෆි කණ්ඩායමට නම් කිරීමටයි පියවර ගෙන තිබුණේ.

එම තරගයේ දී ඔස්ට්‍රේලියාව ඉනිමක හා  ලකුණු 132 ක දරුණු පරාජයක් ලැබුව ද සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ මර්ෆි ඉන්දීය  ඉනිමේ දී කඩුලු 7 ක් දවා ගැනීමට සමත් වුණා.

දෙවැනි ටෙස්ට් තරගයේ දී බොහෝ විට මැතිව් කුහ්නෙමන් ද ටෙස්ට් වරම් දිනා ගැනීමට ඉඩ පවතිනවා.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන සිකුරාදා(17) දිල්ලි හී දී ආරම්භ වීමට නියමිත අතර, එම තරගය සදහා ආබාධයකට ලක්ව සිටි මිචෙල් ස්ටක් ද ක්‍රීඩා කිරීමට ඉඩ පවතිනවා.

එමෙන්ම ආබාධයකට ලක්ව සිටි තුන් ඉරියව් ක්‍රීඩක කැමරන් ග්‍රීන් ද දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතින බවයි වාර්තා වන්නේ.