දරුණු පරාජයත් සමග ඉන්දීය ප්‍රබලයින් සිව් දෙනෙකුගේ ටෙස්ට් දිවිය අවධානමේ
ගෞතම් ගම්භීර් පුහුණුකරු ධූරය භාර ගැනීමෙන් පසුව ඉන්දීය කණ්ඩායම දක්වා ඇති දක්ෂතා ප්‍රමාණවත් මට්ටමක නොමැති වීම සම්බන්ධයෙන් ද මේ වන විට දැඩි කතා බහක් නිර්මාණය වී තිබෙනවා.
එළඹෙන ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරග සංචාරයෙන් පසුව ඉන්දීය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ අනාගතය සම්බන්ධයෙන් තීරණය කෙරෙනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ, නවසීලන්තය හමුවේ තරග 0-3ක අනපේක්ෂිත හා වාර්තාගත ටෙස්ට් තරගාවලි පරාජයකට මුහුණ දීමට ඉන්දියාවට සිදුවූ පසුබිමකයි.
ඒ අනුව 2025-27 අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලිය ආරම්භ වීමට පෙර ඉන්දීය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් තේරීම් කමිටුව දැඩි තීරණයක් ගැනීමට ඉඩ තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ අවසන් කාලය ගත කරමින් සිටින රෝහිත් ෂර්මා, විරාත් කෝලි, රවීන්ද්‍ර ජඩේජා හා රවිචන්ද්‍රන් අශ්වින් යන ක්‍රීඩකයින් අතරින් අවම වශයෙන් දෙදෙනෙකුගේවත් අවසන් ටෙස්ට් තරගාවලිය බවට ඔස්ට්‍රේලියාවට එරෙහි තරග 5 කින් යුත් ටෙස්ට් තරගාවලිය පත් වීමට ඉඩ ඇති බවයි.
ඒ අනුව ඇතැම් ක්‍රීඩකයින් සිය රටේදී ක්‍රීඩා කළ අවසන් ටෙස්ට් තරගාවලිය බවට නිමා වූ නවසීලන්ත ටෙස්ට් තරගාවලිය පත් වීමට ඉඩ තිබෙනවා. බොහෝ විට ඉහත සදහන් කළ ක්‍රීඩකයින් හතර දෙනාම එක්ව සිය රටේදී ක්‍රීඩා කළ අවසන් ටෙස්ට් තරගය ලෙස ඊයේ නිමා වූ තෙවැනි ටෙස්ට් තරගය සැලකිය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.
ඉදිරියේදී ඉන්දීය තේරීම් කමිටුව විසින් සායි සුදර්සන් හා දෙව්දත් පඩික්කාල් ඉන්දීය ටෙස්ට් කණ්ඩායමට ආදේශ කිරීමට ඉඩ ඇති බව සදහන්. එමෙන්ම රවිචන්ද්‍රන් අශ්වින් වෙනුවට වොෂින්ටන් සුන්දර් ද, රවීන්ද්‍ර ජඩේජා වෙනුවට අක්සාර් පටෙල් ද නුදුරු අනාගතයේ දී ඉන්දීය කණ්ඩායමේ ස්ථාන වෙන් කර ගැනීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානීන්, තේරීම් කමිටු සභාපති අජිත් අගාර්කර්, ප්‍රධාන පුහුණුකරු ගෞතම් ගාම්භීර් සහ නායක රෝහිත් ෂර්මා අතර ඉන්දීය කණ්ඩායමේ ඉදිරි ගමන පිළිබඳව සාකච්ඡාවක් ඉදිරියේදී පැවැත්වෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කරනවා.
මේ අතර, ගෞතම් ගම්භීර් පුහුණුකරු ධූරය භාර ගැනීමෙන් පසුව ඉන්දීය කණ්ඩායම දක්වා ඇති දක්ෂතා ප්‍රමාණවත් මට්ටමක නොමැති වීම සම්බන්ධයෙන් ද මේ වන විට දැඩි කතා බහක් නිර්මාණය වී තිබෙනවා.
ඔහු පුහුණුකරු ධූරය භාර ගැනීමෙන් පසුව ඉන්දියාව එක් වූ පළමු සංචාරයේදීම ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාව හමුවේ වසර 27 කට පසුව එක්දින තරගාවලියක් පරාජයට පත් වුණා.
අනතුරුව නවසීලන්තය හමුවේ ඉන්දියාව සිය රටේදී වසර 36 කට පසුව ටෙස්ට් තරගයක් පරාජයට පත් වුණා. එම ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය පරාජයට පත් වීමත් සමග 2012 වසරෙන් අනතුරුව පළමු වරට සිය රටේදී ටෙස්ට් තරගාවලියකින් පරාජයට පත් වීමට ඉන්දියාවට සිදු වුණා. දෙරට අතර පැවැති තෙවැනි ටෙස්ට් තරගය ද ඉන්දියාව පරාජයට පත් වූයේ ඉතිහාසයේ පළමු වරට සිය රටේදී තරග 0-3 ක් ලෙස පූර්ණ ටෙස්ට් තරගාවලි පරාජයක් සිය රටට උරුම කරමින්.
පවතින තත්ත්වය මත එළඹෙන ඔස්ට්‍රේලියානු තරග සංචාරය ගෞතම් ගම්භීර්ට ද ඉතා තීරණාත්මක තරගාවලියක් බවට පත් වනු ඇති.