Ultimate magazine theme for WordPress.

දකුණු අප්‍රිකාව හමුවේ එංගලන්තයට ලකුණු 229 ක අන්ත පරාජයක්

Match Report

දකුණු අප්‍රිකාව සමග පැවැති මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 20 වැනි තරගයෙන් ලකුණු 229 ක දැවැන්ත පරාජයක් ලබමින් මෙවර තරගාවලියේ දී තමන් ලැබූ තෙවැනි පරාජයත් අත්විදීමට පසුගියවර ලෝක ශූරතාවය දිනූ එංගලන්ත කණ්ඩායමට අද(21) සිදු වුණා.

මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 50 අවසන් කළේ කඩුලු 7ක් දැවී ලකුණු 399 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට පන්දුවාර 22 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 170 ක් පමණයි.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් හෙන්රික් ක්ලාසන් පන්දු 67 කින් ලකුණු 109 ක් රැස් කළා. හයේ පහර 4 ක් හා හතරේ පහර 12 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

නායක ටෙම්බා බවුමා අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙම තරගයට ක්‍රීඩා නොකළ අතර, ඔහු වෙනුවට කණ්ඩායමට කැදවූ රීසා හෙන්ඩ්‍රික්ස් පන්දු 75 කින් ලකුණු 85 ක් ලබා ගත්තා.

මාර්කෝ ජන්සෙන් නොදැවී ලකුණු 75 ක් වාර්තා කළේ පන්දු 42 කින් හයේ පහර 6ක් හා හතරේ පහර 3ක් සමගින්. රසී වැන් ඩර් ඩසන් ලකුණු 60 ක් හා ඒඩ්න් මාක්‍රාම් ලකුණු 42 ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී රීස් ටොප්ලි ලකුණු 88 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ගස් ඇට්කින්සන් (Gus Atkinson) හා අඩිල් රෂීඩ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

එංගලන්ත පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ අංක 10 පිතිකරු වූ මාර්ක් වුඩ්. ඔහු පන්දු 17 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 43 ක්. ඔහුගේ ඉනිමට හයේ පහර 5 ක් හා හතරේ පහර 2 ක් ඇතුළත්.

අංක 9 පිතිකරු වූ ගස් ඇට්කින්සන් පන්දු 21 කින් ලකුණු 35 ක් රැස් කළා. වුඩ් හා ඇට්කින්සන් අතර 9 වැනි කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 70 (32)ක්.

පන්දු යැවීමේ දී ජෙරාල්ඩ් කොට්සී ලකුණු 35 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ලුනිග් එන්ගිඩී හා මාර්කෝ ජන්සෙන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ප්‍රසාද ලකුණු සටහන –

[team_standings 51865]