තුන් ඉරියව් අදක්ෂතා හමුවේ ශ්‍රී ලංකාව සිය ටෙස්ට් ඉතිහාසයේ දරුණුතම පරාජය ලබයි

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 242 ක ජයක් ලැබීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(1) සමත් වුණා. ඒ අනුව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 1-0 ක් ලෙස මේ වන විට පෙරමුණ හිමි කර ගැනීමට සමත්ව ඇත්තේ ද ඔස්ට්‍රේලියාවයි.
ශ්‍රී ලංකාව අද ලැබූ පරාජය ඉතිහාසගත වූයේ ටෙස්ට් ඉතිහාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ දරුණුතම පරාජය ලෙසයි. මීට පෙර ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ 2017 වසරේදී නාග්පූර්හීදී ඉනිමකින් හා ලකුණු 239 කින් පරාජයට පත්ව තිබූ අතර, මෙතෙක් ශ්‍රී ලංකාව ලැබූ දරුණුතම ටෙස්ට් පරාජයට බවට පත්ව තිබුණේ එම පරාජයයි.
එමෙන්ම මෙම ජය ඔස්ට්‍රේලියාව ලැබූ සිව්වැනි දැවැන්තම ටෙස්ට් තරග ජයග්‍රහනය ද වනවා.
ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ අද දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 5 ක් දැවී ලකුණු 136 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 165 ක් පමණයි. ඒ, ඔස්ට්‍රේලියාව කඩුලු හයක් දැවී ලකුණු 654 ක් ලබා සිටියදී පළමු ඉනිම අත්හිටු වූ පසුබිමකයි.
ශ්‍රී ලංකා පළමු ඉනිමේ අවසන් කඩුලු පහ පන්දු 26 ක් තුළ ලකුණු 9කට බිද වැටීම කැපී පෙනුණා. දිනේෂ් චන්දිමාල් ලකුණු 72 ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී මැතිව් කුහ්නෙමන් ලකුණු 63 කට කඩුලු 5 ක් හා නේදන් ලයන් ලකුණු 57 කට කඩුලු 3 ක් බිද හෙලුවා.
අනතුරුව අඛණ්ඩව සිය දෙවැනි ඉනිම ද ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවේ සියලු දෙනා ලකුණු 247කට දවා ගැනීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් අද දිනයේදීම සමත් වුණා. ඒ අනුව අද දිනයේදී ඔවුන් ශ්‍රී ලංකා කඩුලු 15 ක් දවා ගනිමින් සුපිරි ටෙස්ට් ජයක් ලැබීමට සමත් වුණා.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ලකුණු 53 ක් රැස් කළ ජෙෆ්රි වැන්ඩර්සේ. ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 41 ක් රැස් කළා. ධනංජය ද සිල්වා ලකුණු 39ක් ලබා ගත් අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 34 කට දැවී ගියා. කමිදු මෙන්ඩිස් ලකුණු 32 යි. දිනේෂ් චන්දිමාල් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 31 ක්. යළි අසාර්ථක වූ ආරම්භක පිතිකරුවන් වන ඕෂද ප්‍රනාන්දු ලකුණු 6කටත්, දිමුත් කරුණාරත්න ලකුණු නොලබාත් දැවී ගියා.
පන්දු යැවීමේදී නේදන් ලයන් ලකුණු 73 කට කඩුලු 4 ක් බිද හෙලූ අතර, මැතිව් කුහ්නෙමන් කඩුලු 4 ක් දවා ගත්තේ ලකුණු 86 ක් ලබා දෙමින්.
ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වලතා මෙන්ම පන්දු රැකීමේදී උඩ පන්දු කිහිපයක් අත්හැරීමත්, විනිසුරු තීරණ නැවත විමසීමේ අවස්ථා නිසි පරිදි යොදා ගැනීමත් ශ්‍රී ලංකාව මෙම තරගයෙන් පරාජයට පත් වීමට බලපානු ලැබුවා.
දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන හය වැනිදා ගාල්ලේදීම ආරම්භ වීමට නියමිතයි.