Ultimate magazine theme for WordPress.

තුනත් පැරදියි; මෙහෙම ගහන්න මොකටෙයි පුහුණුකරුවන් ?

Match Report

ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ සුපුරුදු දියාරු පිතිහරඹය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙස ඉතා පහසුවෙන් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම අද(26) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති අවසන් තරගයෙන් එංගලන්තය ලකුණු 89ක දැවැන්ත සහ පහසු ජයක් වාර්තා කරමින්.

ශ්‍රී ලංකා පිතිකරුවන් මෙම තරගයේ දී ළදරුවන් සේ පිතිහරඹයේ නිරත වූයේ ශ්‍රී ලංකා පුහුණුකරුවන්ගේ භූමිකාව පිළිබදවද බරපතල ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමින්.

අවම තරමින් පන්දුවට පහර එල්ල කළ යුත්තේ කුමන දිශාවටදැයි තෝරා බේරා ගැනීමට හෝ කිසිදු අවබෝධයක් ඇතැම් ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් දැකගත නොහැකි වීම සැබවින්ම කනගාටුවට කරුණක්.

තෙවැනි තරගයේ ද කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක කුසල් ජනිත් පෙරේරා මෙම තරගයේ දී පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව එංගලන්ත කණ්ඩායම සිය ඉනිමට මනා ආරම්භයක් ලබා ගත්තේ පළමු කඩුල්ල සදහා ලකුණු 105ක සබදතාවයක් ගොඩ නගමින්.

ජොනී බෙයාර්ස්ටව් ලකුණු 51ක් සහ ඩාවිඩ් මලාන් ලකුණු 76ක් රැස් කළ අතර, ලියම් ලිවින්ග්ස්ටෝන් ලකුණු 14කට දැවී ගියා.

කෙසේ වෙතත්, අනතුරුව තරගයට හොදින් අවතීර්ණ වූ දුෂ්මන්ත චමීර ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉනිමේ අවසන් පන්දුවාර තුළදී ඉතා විශිෂ්ඨ පන්දු යැවීමක් ප්‍රදර්ශනය කළේ සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසු කිරීමට අවස්ථාවක් ලබා නොදෙමින්.

නියමිත පන්දුවාර 20 අවසානයේ දී එංගලන්ත ඉනිම ලකුණු 180ක් ලෙස සටහන් වුණේ කඩුලු 6කටයි.

පන්දු යැවීමේ දී සිය හොදම 20යි 20 පන්දු යැවීම ප්‍රදර්ශනය කළ දුෂ්මන්ත චමිර ලකුණු 17කට කඩුලු 4ක් දවා ගත් අතර, බිනුර ප්‍රනාන්දු ලකුණු 26කට එක් කඩුල්ලක් බිද හෙලුවා. ඉසුරු උදාන ද එක් කඩුල්ලක් දවා ගත් නමුත්, ඔහුට එරෙහිව ප්‍රතිවාදීන් ලකුණු 55ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිතිකරුවන් සුපුරුදු දුර්වලතා යළි යළිත් ප්‍රදර්ශනය කරමින් ළදරු කණ්ඩායමක් සේ පන්දුවට පහර දුන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් අභිමානය බින්දුවටම දමමින්.

පළමු පන්දුවේ සිටම අනවශය කලබලයක් පිතිකරුවන්ගෙන් දැකිය හැකි වූ අතර, පන්දුවේ දෝලනය සම්බන්ධයෙන් කිසිදු හදුනා ගැනීමක් ඕෂද ප්‍රනාන්දු ප්‍රමුඛ පිතිකරුවන්ගෙන් දැක ගත හැකි වූයේ නැහැ.

එහි ප්‍රතිපලය වූයේ ශ්‍රී ලංකා ඉනිම සිය 20යි 20 ඉතිහාසයේ සිව්වන අවම ලකුණු ප්‍රමාණයට, එනම් ලකුණු 91කට සීමා වීමයි.(පන්දුවාර 18.5)

ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ක්‍රීඩා විලාශය ජාත්‍යන්තර විස්තර විචාරකයින්ගේ ද සිනහවට හේතු වුණා.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු පන්දු 14කින් ලකුණු 20ක් රැස් කළා. ඕෂද ප්‍රනාන්දු පන්දු 27ක් වැය කර ලකුණු 19ක් ලබා ගත් අතර, නිරෝෂන් දික්වැල්ල පන්දු 19කින් ලකුණු 11ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා ඉනිමේ දී වාර්තා වූ නිලකුණු පන්දු සංඛ්‍යාව 74ක් ලෙස සටහන් වීම පිතිකරණයේ දියාරු බවට කදිම නිදසුනක්.

පන්දු යැවීමේ දී ඩේවිඩ් විලී කඩුලු 3ක් සහ සෑම් කරන් කඩුලු 2ක් දවා ගත්තා.

Leave a comment
logo