Ultimate magazine theme for WordPress.

තිදෙනෙකු කැදවමින් ලෝක කුසලානයට නම් කෙරුණු ශ්‍රී ලංකා සංචිතයට අනුමැතිය හිමි වෙයි

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට මේ වන විට ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිය ලැබී තිබෙනවා. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙතෙක් මෙම සංචිතය නිල වශයෙන් නිවේදනය කර නැහැ.

අනුමැතිය ලබා දී ඇති සංචිතයට අනුව දසුන් ශානක නායකත්වය දරන ශ්‍රී ලංකා සංචිතය සදහා ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්. උප නායකයා ලෙස කුසල් මෙන්ඩිස් කටයුතු කිරීමට නියමිතයි.

ආබාධ හේතුවෙන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමට නොහැකි වූ ලහිරු කුමාර, වනිදු හසරංග හා ඩිල්ෂාන් මදුෂංක ලෝක කුසලාන සංචිතයට නම් කර ඇති අතර, දුෂ්මන්ත චමීර මෙම සංචිතය සදහා ද නම් කර නැහැ.

වනිදු හසරංග, ඩිල්ෂාන් මදුෂංක මෙන්ම ආසියානු කුසලාන තරගාවලියේ දී ආබාධයකට ලක් වූ මහීෂ් තීක්ෂණ සංචිතයට නම් කර ඇතත්, ඔවුන් ශාරීරික යෝග්‍යතාවය සුදුසු මට්ටමක පැවතුණහොත් පමණක් ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරනු ඇති.

ලබා දී තිබූ වෛද්‍ය නිර්දේශ අනුව හසරංගට මෙම තරගාවලිය ක්‍රීඩා කිරීම සදහා ඇත්තේ ඉතා සීමිත අවස්ථාවක් පමණයි.

මේ අතර, ආබාධයකින් පසුව මෙතෙක් සම්පූර්ණ සුවය ලබා නොමැති චමීරට මීට පෙර 2022 ආසියානු කුසලාන තරගාවලිය, 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය මෙන්ම 2023 ආසියානු කුසලාන තරගාවලිය ද ආබාධ නිසා අහිමි වුණා.

ආසියානු කුසලාන තරගාවලිය සදහා නම් කෙරුණු ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි දුෂාන් හේමන්ත, ප්‍රමෝද් මදුෂාන් හා බිනුර ප්‍රනාන්දුට සංචිතයේ ස්ථාන අහිමි වී තිබෙනවා.

ලෝක කුසලාන තරගාවලිය සදහා අතිරේක ක්‍රීඩකයින් ලෙස දුෂාන් හේමන්ත හා චාමික කරුණාරත්න නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔක්තෝබර් 5 වැනිදා ඉන්දියාවේ දී ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් 7 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව දිල්ලි හී දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන 29 වැනිදා හා එළඹෙන 3 වැනිදා පිළිවෙලින් බංග්ලාදේශයට හා ඇෆ්ඝනිස්තානයට එරෙහිව පුහුණු තරග ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම අද(26) දිනයේ දී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.

ලෝක කුසලානයට අනුමත කර ඇති ශ්‍රී ලංකා සංචිතය –

Dasun Shanaka (c), Kusal Mendis (vc), Pathum Nissanka, Kusal Janith, Dimuth Karunaratne, Charith Asalanka, Dhananjaya de Silva, Sadeera Samarawickrama, Dunith Wellalage, Kasun Rajitha, Matheesha Pathirana, Lahiru Kumara,

Subject to Fitness – Wanindu Hasaranga, Maheesh Theekshana, Dilshan Madushanka

Travelling Reserves – Dushan Hemantha, Chamika Karunaratne