Ultimate magazine theme for WordPress.

තවත් ප්‍රබල දකුණු අප්‍රිකා ක්‍රීඩකයෙකුට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි

ආබාධ තත්ත්වයක් (pelvic inflammation) හේතුවෙන් දකුණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක ජෙරාල්ඩ් කොට්සියාට ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඔහු වෙනුවට වෙනත් කිසිදු ක්‍රීඩකයෙකු දකුණු අප්‍රිකා සංචිතයට ආදේශ කිරීමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන නැහැ.

ඉන්දියාව සමග පැවැති පළමු ටෙස්ට් තරගයේ දී කොට්සියා අදාළ ආබාධයට මුහුණ දී ඇති අතර, අනතුරුව සිකුරාදා දිනයේ දී ඔහුව වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කර තිබුණා.

අනතුරුව පූර්ව ආරක්ෂක පියවරක් ලෙස ඔහුව සංචිතයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ජනවාරි 10 වැනිදා ආරම්භ වීමට නියමිත SA20 තරගාවලිය සදහා ඔහුට ක්‍රීඩා කළ හැකි දැයි මෙතෙක් අනාවරණය වන්නේ නැහැ.

මීට පෙර දකුණු අප්‍රිකා නායක ටෙම්බා බවුමා ද පළමු ටෙස්ට් තරගයේ දී ආබාධයකට මුහුණ දුන් අතර, ඒ හේතුවෙන් ඔහුට ද දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉවත් වීමට සිදු වුණා.

ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගය ජනවාරි 3 වැනිදා කේප් ටවුන් හී දී ආරම්භ වීමට නියමිතයි.

සෙන්චූරියන්හී දී පැවැති පළමු ටෙස්ට් තරගය දින තුනක කාලයක් තුළ අවසන් වූ අතර, එම තරගයෙන් ඉන්දියාව ඉනිමක හා ලකුණු 32 ක පරාජයක් ලැබුවා.