තරංග ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 8ක් සමගින් EPL අනිද්දා සිට ඇරඹේ

2021 එවරස්ට් ප්‍රිමියර් ලීග් (EPL) ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට ඇත්තේ තවත් දින දෙකක් පමණයි.
තරගාවලිය ලබන 25 වනදා නේපාලයේ Kirtipur හීදී ආරම්භ වන්නේ Kathmandu Kings XI කණ්ඩායම හා Lalitpur Patriots කණ්ඩායම අතර පැවැත්වෙන තරගයත් සමගින්.
තරගාවලියට කණ්ඩායම් 6ක් එක් වන අතර, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 8 දෙනෙකු ද එම කණ්ඩායම් නියෝජනය කරමින් තරග බිමට පිවිසීමට නියමිතයි.
මේ වන විටත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හා විදෙස් ක්‍රීඩකයින් එරටට ළගා වී අවසන්.
මෙවර තරගාවලිය සදහා වැඩිම විදෙස් ක්‍රීඩකයින් ප්‍රමාණයක් එක්වන්නේ ද ශ්‍රී ලංකාවෙන් වීම විශේෂත්වයක්.
Lalitpur Patriots කණ්ඩායම සදහා ඕෂද ප්‍රනාන්දු හා සදුන් වීරක්කොඩි ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.
උපුල් තරංග හා ධම්මික ප්‍රසාද් Bhairahawa Gladiators කණ්ඩායමත්, සහන් ආරච්චිගේ හා අසේල ගුණරත්න Pakhara Rhinos කණ්ඩායමත් නියෝජනය කිරීමට නියමිතයි.
සීක්කුගේ ප්‍රසන්න ක්‍රීඩා කරන්නේ Chitwan Tigers කණ්ඩායමයි.
Biratnagar Warriors කණ්ඩායම වෙනුවෙන් ඩිල්ෂාන් මුණවීර ක්‍රීඩා කිරීමට නියමිතව සිටිනවා.
මෙවර තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව සිටි ශ්‍රී ලංකා හිටපු නායක දිනේෂ් චන්දිමාල් එළඹෙන ඕමාන තරග සංචාරයට හා ලෝක කුසලාන තරගාවලියට එක්වීමට නියමිතව ඇති බැවින් EPL තරගාවලියෙන් ඉවත් වී තිබෙනවා.
බංග්ලාදේශයේ ටමිම් ඉක්බාල් හා පාකිස්තානයේ ශහිඩ් අෆ්රිඩි ද මෙවර තරග වාරය සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.
තරගාවලිය ඩයලොග් TV හි නාලිකා අංක 72 (1sports) ඔස්සේ සජීවීව නැරඹීමේ අවස්ථාව මෙරට ප්‍රේක්ෂකයින්ට හිමි වනවා.