Ultimate magazine theme for WordPress.

තමිල් නාඩුව එක්දින ඉතිහාසයේ පළමු 500 වාර්තා කරයි ; සංගාගේ වාර්තාවකුත් බිද වැටෙයි

ඉන්දියාවේ පැවැත්වෙන Vijay Hazare එක්දින තරගාවලිය යටතේ අද (21) ආරම්භ වූ තරගයකදී නව ලෝක වාර්තා කිහිපයක් පිහිටුවීමට තමිල් නාඩු කණ්ඩායම සමත් වුණා.

Arunachal Pradesh කණ්ඩායමට එරෙහිව බැංගලූරු හී දී ආරම්භ වූ තරගයේ දී යි ඔවුන් මෙලෙස ලෝක වාර්තා පිහිටුවීමට සමත් වුණේ.

මෙම තරගයේ දී තමිල් නාඩු කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ දී කඩුලු 2 ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 506 ක්.

List A එක්දින තරගයකදී කණ්ඩායමක් ක්‍රිකට් ඉතිහාසයේ දී වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි එය ලෝක වාර්තා පොත් අලුත් කරනු ලැබුවේ.

මීට පෙර මෙම වසරේ දී එංගලන්ත කණ්ඩායම විසින් නෙදර්ලන්තයට එරෙහිව කඩුලු 4 ක් දැවී ලකුණු 498 ක් ලබා ගනිමින් අදාළ වාර්තාව සිය නම ඉදිරියේ සටහන් කර ගෙන තිබුණා.

ඒ අනුව තමිල් නාඩු කණ්ඩායම ඉතිහාසයට එක් වුණේ List A එක්දින තරගයකදී ලකුණු 500 සීමාව ඉක්මවා ගිය පළමු කණ්ඩායම ලෙසයි.

අද තරගයේ දී තමිල් නාඩු කණ්ඩායමේ Narayan Jagadeesan පන්දු 141 කදී ලකුණු 277 ක් වාර්තා කිරීම කැපී පෙනුණා.

එය ලෝක වාර්තාපොත් අතරට එක් වුණේ List A එක්දින තරගයකදී පිතිකරුවෙකු වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

මීට පෙර Surrey කණ්ඩායමේ Alistair Brown 2002 වසරේ දී Glamorgan කණ්ඩායමට එරෙහිව ලකුණු 268 ක් වාර්තා කරමින් අදාළ ලෝක වාර්තාවට හිමිකම් කියනු ලැබුවා.

මේ අතර, මෙම තරගයේ දී Jagadeesan ලකුණු 277 ක් ලබා ගැනීමත් සමග ඔහු මේ වන විට List A එක්දින තරගවලදී අඛණ්ඩව ශතක පහක් වාර්තා කර තිබෙනවා.

එවැනි දක්ෂතාවයක් දැක් වූ ලොව පළමු පිතිකරුවා ලෙසයි ඔහු ඉතිහාසගත වුණේ.

මීට පෙර කුමාර් සංගක්කාර, ඇල්විරෝ පීටර්සන් හා දෙව්දත් පඩික්කල් විසින් අඛන්ඩව ශතක 4 ක් වාර්තා කිරීමට සමත්ව තිබුණා.

මේ අතර, Jagadeesan මෙම තරගයේ දී සිය ද්විත්ව ශතකය වාර්තා කිරීම සදහා පන්දු 114 ක් වැය කළ අතර, එය වාර්තා අතරට එක් වුණේ List A එක්දින තරගයකදී පිතිකරුවෙකු වාර්තා කළ සම වේගවත්ම ද්විත්ව ශතකය ලෙසයි.

මීට පෙර 2021 වසරේ ඔක්තෝබර් මාසයේ දී ට්‍රැවිස් හෙඩ් South Australia කණ්ඩායම වෙනුවෙන් පන්දු 114 කින් ද්විත්ව ශතකයක් වාර්තා කර තිබුණේ Queensland කණ්ඩායමට එරෙහිවයි.

අද තරගයේ දී තමිල් නාඩු කණ්ඩායමේ ආරම්භක කඩුල්ල සදහා Narayan Jagadeesan හා Sai Sudarshan ලකුණු 416 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා.

එය List A එක්දින තරගයකදී ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ක්‍රිකට් ඉතිහාසයේ දී වාර්තා වූ ඉහළම ලකුණු සබදතාවය ලෙසයි ලෝක වාර්තා පොත් අතරට එක් වුණේ.

මීට පෙර බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන් දෙදෙනෙකු වන ක්‍රිස් ගේල් හා මාර්ලන් සැමුවෙල්ස් 2015 එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව දෙවැනි කඩුල්ල සදහා ලකුණු 372 ක සම්බන්ධතාවයක් ගොඩ නගමින් අදාළ වාර්තාවට හිමිකම් කියා තිබුණා.

අද තරගයේ දී Jagadeesan වාර්තා කළ ලකුණු 277 ට හතරේ පහර 25 ක් හා හයේ පහර 15 ක් ඇතුළත් වුණා.

Leave a comment