Ultimate magazine theme for WordPress.

තමාට ජීවිත තර්ජන එල්ල වී ඇති බව ක්‍රීඩා ඇමති කියයි ; ඉදිරි වැඩපිළිවෙලත් පහදයි

ශ්‍රී ලංකා ක්‍රිකට් මාෆියාවට සම්බන්ධ බලවත් පුද්ගලයන්ගෙන් තමාට මේ වන විට ජීවිත තර්ජන එල්ල වී ඇති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමට ජගත් ක්‍රිකට් කවුන්සලය ඊයේ ගත් තීරණයත් සමග ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා අද (11) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා චෝදනා කර සිටියේ ජනාධිපති කාර්යාලයේ ඉහළ නිලධාරීන් ද දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ට සහාය දක්වන බවයි.

ඒ අනුව තමාගේ ජීවිතයට තර්ජනයක් පවතින බැවින් තමා ජනාධිපති කාර්යාලයේ ජලය පවා පානය නොකරන බව හෙතෙම අවධාරණය කර සිටියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්ම අයි.සී.සීයෙන් තහනමක් ඉල්ලා සිටි බැවින් අයි.සී.සීය විසින් ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවා ඇති බවත්, දූෂිත නිළධාරීන් ආරක්ෂා කර ගැනීමේ උපාය මාර්ගයක් ලෙස එම පියවර ක්‍රිකට් ආයතනය විසින් ගෙන ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.

මේ අතර, පනවා ඇති තහනම ඉවත් කර ගැනීම සදහා අයි.සී.සීය වෙත අභියාචනයක් ඉදිරිපත් කරන බවත්, අයි.සී.සී ක්‍රියාදාමයෙන් යුක්තිය ඉටු නොවන්නේ නම්, ක්‍රීඩා බේරුම්කරණ අධිකරණය හමුවට යන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එමෙන්ම අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වයෙන් පත් කෙරුණු අතුරු කමිටුවට එරෙහිව අභියාචනාධිකරණය පසුගියදා පැනවූ අතුරු තහනම ඉවත් කර ගැනීම සදහා සදුදා දිනයේ දී අභියාචනයක් ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර සිටියේ.