Ultimate magazine theme for WordPress.

ඩිල්ෂාන්ගේ කඩුලු 4 හා මදුෂ්කගේ සුපිරි ශතකය ශ්‍රී ලංකා A පිලට විශිෂ්ඨ ජයක් හිමි කර දෙයි

Match Report

සංචාරක දකුණු අප්‍රිකා A කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කරමින් කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන තරග 3 කින් යුත් එක්දින තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්ත්වයට ගෙන ඒමට ශ්‍රී ලංකා A කණ්ඩායම අද(6) සමත් වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැති දෙවැනි එක්දින තරගය ජය ගැනීම සදහා ලකුණු 176 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා A කණ්ඩායම පන්දුවාර 29 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

විශිෂ්ඨ ශතකයක් වාර්තා කළ නිශාන් මදුෂ්ක නොදැවී ලකුණු 107 ක් රැස් කළේ පන්දු 85 කින්. හයේ පහර 2 ක් හා හතරේ පහර 13 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ලසිත් කෘෘස්පුල්ලේ ලකුණු 4කටත්, නුවනිදු ප්‍රනාන්දු ලකුණු නොලබාත්, නායක නිපුන් ධනංජය ලකුණු 8කටත් දැවී ගියා. සහන් ආරච්චිගේ නොදැවී ලකුණු 50 යි.

පන්දු යැවීමේ දී Beyers Swanepoel, Lizaad Williams හා Tshepo Moreki කඩුල්ල බැගින් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා A කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 175 ක් ලබා ගත්තේ පන්දුවාර 43.2 ක් අවසානයේ දී යි. ඒ, ඉනිමේ 7 වැනි කඩුල්ල ලකුණු 42 දී බිද වැටුණු පසුබිමකයි.

Jordan Hermann එක් ලකුණකටත්, Matthew Breetzke ලකුණු 14 කටත්, Zubayr Hamza ලකුණු 2කටත්, Kyle Verreynne ලකුණු නොලබා සිටියදීත් දවා ගැනීමට ඩිල්ෂාන් මදුෂංක සමත් වුණා.

නායක Tony de Zorzi ලකුණු 4 කට හා Dewald Brevis ලකුණු දෙකකට දැවී ගියේ ජනිත් ලියනගේගේ පන්දු හමුවේයි.Beyers Swanepoel ලකුණු 7කට දවා ගැනීමට ප්‍රමෝද් මදුෂාන් සමත් වුණා.

අනතුරුව 8 වැනි කඩුල්ල සදහා ලකුණු 111 ක සම්බන්ධතාවයක් පිහිටුවීමට Tristan Stubbs හා Gerald Coetzee සමත් වුණා. Stubbs පන්දු 88 කින් ලකුණු 59 ක් රැස් කළේ හයේ පහර 3 ක් හා හතරේ පහරක් සමගින්. Coetzee පන්දු 89 කින් ලකුණු 77 ක් ලබා ගත්තා. හයේ පහර 2ක් හා හතරේ පහර 6 ක් Coetzee ගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේ දී ඩිල්ෂාන් මදුෂංක ලකුණු 33 කට කඩුලු 4 ක් දවා ගත් අතර, ජනිත් ලියනගේ ලකුණු 32 කට කඩුලු 2 ක් ද, සහන් ආරච්චිගේ ලකුණු 18 කට කඩුලු 2 ක් ද බිද හෙලුවා. ප්‍රමෝද් මදුෂාන් හා දුනිත් වෙල්ලාලගේ කඩුල්ල බැගින් දවා ගත්තා.