වනිදු ටෙස්ට් පිටියෙන් සමු ගත් බව ක්‍රිකට් ආයතනය තහවුරු කරයි
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.
සීමිත පන්දුවාර තරග රටාව පිළිබද වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණින් ඔහු එම තීරණය ගෙන ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගැනීමට අදාළ ලිපියක් ද හසරංග විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යොමු කර තිබෙනවා.
තමා සීමිත පන්දුවාර තරග රටාවේ විශේෂඥ ක්‍රීඩකයෙකු ලෙස දීර්ඝ කාලයක් ක්‍රීඩා කිරීමට කැමැත්තෙන් පසුවන බැවින් මෙම තීරණය ගත් බවටයි ඔහු එම ලිපියේ සදහන් කර ඇත්තේ.
- Also Read : ස්ටොක්ස් IPL අත්හරියි, ලෝක කුසලානය තෝරා ගනියි
26 හැවිරිදි වනිදු හසරංග 2017 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි අතර, ඔහු ටෙස්ට් වරම් දිනා ගත්තේ 2020 වසරේ දෙසැම්බර් මාසයේ දී දකුණු අප්‍රිකාවේ දී යි.
මේ දක්වා ටෙස්ට් තරග 4ක් පමණක් ක්‍රීඩා කර ඇති වනිදු එහිදී දවා ගෙන ඇත්තේ කඩුලු 4 ක් පමණයි. එම කඩුලු හතරම ඔහු දවා ගත්තේ ද එක් ඉනිමකදීයි.
පිතිකරුවෙකු ලෙස ඔහු එම තරග හතරේ දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 196 ක්.
(ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් පසුව මෙම පුවත යාවත්කාලීන කර ඇත)