ටමිම්ගේ ශතකය – ජෝයි, රහීම් හා ලිටොන්ගේ අර්ධ ශතක හමුවේ බංග්ලාදේශය ප්‍රබල ස්ථානයක
Day 3 Report

ටමිම් ඉක්බාල් වාර්තා කළ සිය 10 වැනි ටෙස්ට් ශතකයෙන් හා මහ්මුදුල් හසාන් ජෝයි, මුෂ්ෆිකර් රහීම් මෙන්ම ලිටොන් දාස් වාර්තා කළ අර්ධ ශතක හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග චිතගොං හි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයේ වැඩි ගෞරව හිමි කර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම අද(17) සමත් වුණා.
අද දිනය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 3ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 318ක්.
මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 53ක් ද, ලිටොන් දාස් නොදැවී ලකුණු 54ක් ද ලබා කඩුල්ලේ රැදී සිටිනවා. රහීම්ගේ ඉනිමට හතරේ පහර 2ක් ඇතුළත් අතර, ලිටොන්ගේ ඉනිමට හතරේ පහර 8ක් ඇතුළත්.
ඔවුන් දෙදෙනා අතර 4 වැනි කඩුල්ල සදහා මේ වන විට ලකුණු 98ක නොබිදුණු සබදතාවයක් ගොඩ නැගී තිබෙනවා.
ටමිම් ඉක්බාල් තම 10 වැනි ශතකය වාර්තා කිරීමෙන් පසුව යම් ආබාධයකට ගොදුරු වූ බැවින් ඔහු තේ පානයෙන් පසුව පන්දුවට පහර දීමට පිටියට පිවිසියේ නැහැ.
ඒ වන විට ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 133ක්. පන්දු 217කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 15ක් ඇතුළත්. ටමිම් ඉක්බාල් ලකුණු 114ක් ලබා සිටියදී රමේෂ් මෙන්ඩිස් යොමු කළ පන්දුවකට ලබා දුන් උඩ පන්දුවක් ස්ලිප්හි පන්දු රකිමින් සිටි ධනංජය ද සිල්වා අතින් ගිලිහී ගියා.
ටමිම් සමග ඉනිම ආරම්භ කළ මහ්මුදුල් හසාන් ජෝයි ලකුණු 58කට දවා ගැනීමට අසිත ප්‍රනාන්දු සමත් වුණා. කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල අතට උඩ පන්දුවක් ලබා දීමෙනුයි ඔහු දැවී ගියේ. ටමිම් හා මහ්මුදුල් අතර පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු සබදතාවය ලකුණු 162ක්.
මහ්මුදුල් ලකුණු 51ක් ලබා සිටියදී අසිත ප්‍රනාන්දු යොමු කළ පන්දුවකට ලබා දුන් උඩ පන්දුවක් ලසිත් ඇඹුල්දෙණිය අතින් ගිලිහී යාම ද විශේෂත්වයක්.
පළමු කඩුල්ල දවා ගැනීමෙන් අනතුරුව දෙවැනි හා තෙවැනි කඩුලු පිළිවෙලින් ලකුණු 172 දී හා 184 දී බිද වැටුණා. ඒ, නජ්මුල් හොසේන් ශන්ටෝ ලකුණු දෙකකටත්, නායක මොමිනුල් හක් ලකුණු දෙකකටත් දවා ගැනීමට කසුන් රාජිත සමත් වීමත් සමගයි.
කසුන් රාජිත මෙම තරගය සදහා පළමුව නම් කර නොතිබූ නමුත්, කම්පන තත්ත්වයකින් පසු වීම හේතුවෙන් මෙම ටෙස්ට් තරගයෙන් වේග පන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකාරීත්වය කටයුතු කිරීම නිසා ඔහු වෙනුවටයි කසුන් රාජිත අවසන් 11 දෙනාගේ කණ්ඩායම සදහා ආදේශ කිරීමට අද කටයුතු කෙරුණේ.
අද දිනය ආරම්භයේ සිට දිවා ආහාරය දක්වා වූ කාලය තුළ බංග්ලාදේශය කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 81ක් රැස් කළ අතර, දිවා ආහාරයේ සිට තේ පානය දක්වා වූ කාලය තුළ බංග්ලාදේශය කඩුලු 3ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 63ක්. තේ පානයේ සිට දිනය අවසන් වන අවස්ථාව දක්වා බංග්ලාදේශය කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 98ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී කසුන් රාජිත ලකුණු 17කට කඩුලු 2ක් දවා ගත් අතර, අසිත ප්‍රනාන්දු ලකුණු 55කට එක් කඩුල්ලක් බිද හෙලුවා.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 397ක් රැස් කළා. ඒ, ඇන්ජෙලෝ මැතිව්ස් වාර්තා කළ ලකුණු 199න් ශක්තිමත් වෙමින්.
මේ වන විට බංග්ලාදේශය පළමු ඉනිමේ දී ශ්‍රී ලංකාවට වඩා පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 79ක්.