ජැෆ්නා කිංග්ස් රදවා ගත් හා ගිවිසුම්ගත වූ දේශීය ක්‍රීඩකයින් 6 දෙනා නිවේදනය කෙරේ

අද(5) පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ තෙවැනි අදියරේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාවට පෙර සිය සංචිතයේ රදවා ගත් හා සෘජුව ගිවිසුම් ගත වූ දේශීය ක්‍රීඩකයින් ලැයිස්තුව ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මේ වන විට නිවේදනය කර තිබෙනවා.
පසුගිය තරග වාරයේ දී සිය සංචිතයට ඇතුළත්ව සිටි ක්‍රීඩකයින් 6 දෙනෙකු ක්‍රීඩක කෙටුම්පත් කිරීමට පෙර උපරිම වශයෙන් කණ්ඩායමේ රදවා ගැනීමේ අවස්ථාව සියලු කණ්ඩායම් වෙත ලබා දී තිබුණා. රදවා තබා ගත හැකි උපරිම විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාව දෙදෙනෙක්.
කෙටුම්පත් කිරීමේ අවස්ථාවට පෙර සෑම කණ්ඩායමකටම විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් දෙදෙනෙකු සමග සෘජුවම ගිවිසුම්ගත වීමේ අවස්ථාව ද පවතිනවා.
ඒ අනුව පසුගිය තරගාවලි ද්විත්වයේම LPL ශූරතාවය දිනූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද නිවේදනය කළේ දේශීය ක්‍රීඩකයින් 4 දෙනෙකු සංචිතයේ රදවා ගැනීමටත්, දේශීය ක්‍රීඩකයින් දෙදෙනෙකු සමග සෘජුව ගිවිසුම් ගත වීමටත් පියවර ගත් බවයි.
කිංග්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ තිසර පෙරේරා තවදුරටත් සංචිතයේ රදවා ගැනීමට තීරණය කර තිබෙනවා.
පසුගිය තරග වාරයේ දී කලම්බු ස්ටාර්ස් කණ්ඩායම නියෝජනය කළ ධනංජය ද සිල්වා සමග සෘජුව ගිවිසුම් ගත වූ බවයි එම කණ්ඩායම සදහන් කළේ.
දග පන්දු යවන ක්‍රීඩකයින් වන මහීෂ් තීක්ෂණ හා ප්‍රවීන් ජයවික්‍රම ද සංචිතයේ රදවා ගැනීමට කිංග්ස් කළමණාකාරීත්වය තීරණය කර තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙවර සංවිධාන කළ අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ දී තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනූ අශාන් රන්දික ද ජැෆ්නා කිංග්ස් සංචිතයේ රදවා ගෙන ඇති බවයි එම කණ්ඩායම නිවේදනය කළේ.
සෘජුවම ගිවිසුම්ගත වූ ක්‍රීඩකයෙකු ලෙස දුනිත් වෙල්ලාලගේ ද ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග එක්වී සිටිනවා.
ඒ අනුව අප මීට පෙර ද වාර්තා කළ පරිදි දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ජැෆ්නා කිංග්ස් කණ්ඩායමෙන් ඉවත්ව තිබෙනවා.
කණ්ඩායම් පහේ කළමණාකාරීත්වය හා තරගාවලියේ සංවිධායකයින්ගේ සහභාගීත්වයෙන් අද පස්වරු 5 සිට ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ කටයුතු අතථ්‍ය (Virtual) ක්‍රමවේදය ඔස්සේ සිදු කිරීමට නියමිතයි.