Ultimate magazine theme for WordPress.

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට තවත් සම හිමිකරුවන් දෙදෙනෙක්

ADVERTISEMENT

තරගාවලි සංවිධායකයින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය –

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරඟාවලියේ දී Galle gladiators කණ්ඩායම අවසන් මහා තරඟය තෙක් පැමිණ යාපනය ස්ටැලියන්ස් කණ්ඩායම හමුවේ පරාජයට පත් වූහ.

කෙසේ වෙතත්, Galle gladiators හි සම හිමිකරුවකු වන නදීම් ඕමාර් මහතා පවසන්නේ දෙවන වරටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලිය තුළ නැවත වරක් වඩාත් ශක්තිමත්ව තරග වැදීමට සූදානම් වන ග්ලැඩියේටර්වරුන්ගේ ජයග්‍රහණය නියතවනු ඇති බවයි.

එමෙන්ම අසීස් අබ්දුල් රහීම් කසාමලී සහ මජීඩ් බෂීර් යන මහත්වරුන් සම හිමිකරුවන් ලෙස Galle gladiators කණ්ඩායම වෙත ශක්තිය ලබා දීමට ඉදිරිපත් ව සිටී.

තරගාවලියේ මුල් අදියරේදී පාකිස්තානු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ෂහිඩ් අෆ්රිඩි විසින් කණ්ඩායම මෙහෙයවනු ලැබූ අතර, පෞද්ගලික හේතු කිහිපයක් මත අෆ්රිඩිට තරගාවලිය අතරමගදී ඉවත් වීමට සිදුවීමත් සමඟ පසුව ශ්‍රී ලංකාවේ භානුක රාජපක්ෂ විසින් එය භාර ගන්නා ලදී.

කණ්ඩායමේ උපදේශකයා වූයේ හිටපු ජනප්‍රිය වේග පන්දු ක්‍රීඩක වසීම් අක්‍රම් ය.

පකිස්ථානු සුපර් ලීග් (PSL) හි ක්වෙටා ග්ලැඩියේටර්ස් ෆ්‍රැන්චයිස් හි ද හිමිකාරිත්වය දරණ ඕමාර් මහතා පාකිස්ථානු ව්‍යාපාරික විධායක නිලධාරියෙකු වන අතර හිටපු ක්‍රීඩකයෙක් ද වෙයි.

ඔහු ක්‍රීඩාව සදහා දරණ ලද දායකත්වයන් සම්බන්ධයෙන් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධයක් ලබා ඇත.

ඔහු 2020 ඔක්තෝම්බර් මාසයේ සිට පකිස්ථානු ස්ක්‍රබල් සංගමයේ සභාපති ලෙස ද 2018 මැයි සිට කරච්චි නගර ක්‍රිකට් සංගමයේ සභාපති වශයෙන් ද කටයුතු කර ඇත.

ඔහු පාකිස්තාන ක්‍රිකට් සමාජයේ සභාපති ද වේ.

ගාල්ල ෆ්‍රැන්චයිස් හි මූලික අරමුණ වන්නේ ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ දකුණු පළාත තුල ඉහළ මට්ටමකට ගෙන ඒමයි.

“ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි කාලය අපට ඉතා තීරණාත්මකයි. විශේෂයෙන් අපි පසුගිය තරගාවලියේ දී අසාම් ඛාන්, ධනංජය ලක්ෂාන් සහ සහන් ආරච්චිගේ වැනි තරුණ ක්‍රීඩකයින්ගේ කැපී පෙනෙන දස්කම් දුටුවා. ඔවුන්ගේ මෙම හැකියාවන් අපගේ කණ්ඩායමේ ඉදිරි ගමනට මහත් ශක්තියක්. ඊළඟ තරඟ වටයේදී පෙරටත් වඩා හොදින් ක්‍රීඩා කර ජයග්‍රාහී කුසලානය දිනා ගැනීම අපේ බලාපොරොත්තුවයි. ගාල්ල අවට ප්‍රේක්ෂක ජනතාව සැමදා අප සමඟ නොමදව රැදී සිටියා. පවතින වසංගත තත්වය නිසා ඔවුන්ට ක්‍රීඩාංගණ තුළට යාමට ඉඩ නොතැබූ නමුත් විවිධ ක්‍රම හරහා ඔවුන්ගෙන් ලැබුණ සහයෝගය අපව තව තවත් දිරිමත් කලා.” ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රිමියර්ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය ද සිහිපත් කරමින් ඔමාර් මහතා එසේ අදහස් දක්වන ලදි.

Galle gladiators හි නිල ප්‍රවර්ධකයා වන ඩුබායි මූලස්ථානය කර ගත් IPG හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී අනිල් මොහාන් මහතා මෙසේ පැවසුවේය.

“Galle gladiators විසින් LPL තරගාවලියේ පළමු අදියර තුළ විසල් දස්කම් පාමින් කැපීපෙනෙන ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළා. LPL දෙවන තරගාවලිය තුළදී ග්ලැඩියේටර්වරුන් ක්‍රිකට් ඉතිහාසයේ නව පරිච්ඡේදයක් දිගහරිණු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. ගාල්ල කණ්ඩායමේ දස්කම් මෙම තරගාවලියේ වර්ධනයට ඉවහල් වන බව මට විශ්වාසයි.”

2020 නොවැම්බර් 26 සිට දෙසැම්බර් 16 දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ජෛව ආරක්ෂිත බුබුලක් තුළ ක්‍රීඩා කළ ලංකා ප්‍රිමියර් ලීග් හි ( LPL) ආරම්භක තරගාවලිය රූපවාහිනිය සහ ඩිජිටල් මාධ්‍ය හරහා මිලියන 557 ක ජනතාවක් නරඹා ඇත.

අනුග්‍රාහකයින් ඩොලර් මිලියන 54.5 ක ලාභයක් භුක්ති විඳි අතර හිමිකම් අනුග්‍රහක MY11CIRCLE හි 9.85x ක ආදායමක් ලැබුණි.

LPL පළමු තරඟයේ ජයග්‍රාහකයා වූ යාපනය ස්ටැලියන්ස් ඩොලර් මිලියන 3.98 ක මුදල් ත්‍යාගයක් හිමි කරගත් අතර පසුව ගාල්ල ග්ලැඩියේටර්ස් ඩොලර් මිලියන 3.82, දඹුල්ල වයිකින්ග් ඩොලර් මිලියන 3.54 සහ කැන්ඩි ටස්කර්ස් ඩොලර් මිලියන 3.19 ක මුදල් ත්‍යාග දිනාගන්නා ලදි.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, එක්සත් රාජධානිය, කැනඩාව, අයර්ලන්තය සහ නවසීලන්තය යන රටවල Sky Sports, Sony Sports Network, Geo, PTV සහ Willow TV හරහා සජීවීව විකාශනය කරන ලද LPL තරඟාවලිය මිලියන 155 ක ජනතාවක් නරඹා ඇත.

සමාජ මාධ්‍ය තුළ එය මිලියන 218 ක නැරඹුම් වාරයක් දක්වා ළඟා වුණා.

ලීගය සෑම තරඟයක් සමඟම නව ජීවයක් ලබන අතර ක්‍රීඩාවේ නිම්හිම් ජාත්‍යන්තර තලය තුළ බැබළ වීමටද දායක වෙයි.

Leave a comment