Ultimate magazine theme for WordPress.

ගුර්බාස්ගේ 151 අපතේ යයි ; ඉමාම්ගේ 91 හා නසීම්ගේ සුපිරි අවසානය පාකිස්තානයට ජය ගෙනෙයි

Match Report

ADVERTISEMENT

ඇෆ්ඝනිස්තානය සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම අද(24) සමත් වුණා.

හම්බන්තොට පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය කඩුලු 5 ක් දැවී ලකුණු 300 ක් ලබා ගත් අතර, තරගය ජය ගැනීම සදහා ලකුණු 301 ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තානය තරගය ජය ගත්තේ ඉනිම නිමා වීමට එක් පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 9ක් දැවී සිටියදයි.

ඉමාම් උල් හක් ලකුණු 91 ක්, බාබර් අසාම් ලකුණු 53 ක් හා ෆකාර් සමාන් ලකුණු 30 ක් රැස් කරමින් මුල්පෙල ශක්තිමත් කළා.

කෙසේ වෙතත්, මැදපෙල පිතිකරුවන්ගෙන් ඉනිමට සාර්ථක දායකත්වයක් නොලැබුණු බැවින්, තරගය ජය ගැනීම පිළිබද වැඩි බලාපොරොත්තු ඇෆ්ඝනිස්තාන පිල දෙසට දෝලනයට වුණා. එවන් පසුබිමක ශඩාබ් ඛාන් පන්දු 35කින් ලකුණු 48 ක් වාර්තා කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය ආසන්නයටම රැගෙන යාමට සමත් වුණා.

කෙසේ වෙතත්, අවසන් පන්දුවාරයේ පළමු පන්දුව යොමු කිරීමට දිව ආ ෆසල්හක් ෆරූකි පන්දු යවන අන්තයේ රැදී සිටි ශඩාබ් ඛාන් දුවද්දී දවා ගැනීමට (මන්කඩ් ක්‍රමවේදය යටතේ) කටයුතු කළා. (දර්ශන පහතින්) ඒ, අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීමට පාකිස්තානයට කඩුලු 2 ක් අතැතිව ලකුණු 11 ක් අවශ්‍යව තිබූ මොහොතකයි. අවසන් පන්දු 12 තුළ දී ඔවුන්ට අවශ්‍යව තිබූ ඉලක්කය ලකුණු 27 ක්.

අවසන් පන්දුවාරයේ දී හතරේ පහර 2ක් ද එල්ල කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට සමත් වුණේ නසීම් ශාහ්. (දර්ශන පහතින්) ඔහු පන්දු 5 කින් ලකුණු 10 ක් නොදැවී රැස් කළා.

පන්දු යැවීමේ දී ෆරූකි කඩුලු 3 ක් දවා ගත් අතර, මොහමඩ් නබී කඩුලු 2 ක් බිද හෙලුවා.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තාන ඉනිම වෙනුවෙන් සුපිරි පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු රහ්මනුල්ලාහ් ගුර්බාස් පන්දු 151 කින් ලකුණු 151 ක් රැස් කළා. ඒ, හයේ පහර 3ක් හා හතරේ පහර 14 ක් සමගින්.

ඊබ්‍රහීම් සඩ්‍රාන් ලකුණු 80(101) යි. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 227 ක්.

මොහමඩ් නබී ලකුණු 29 ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි කඩුලු 2 ක් බිද හෙලුවා.

මන්කඩ් දැවී යාම හා අවසන් පන්දුවාරයේ දර්ශන කිහිපයක් පහතින් –

Leave a comment